යෙදුමෙන් කියවන්න

කස‍්සපසුත‍්තං

1. 6.

1. 6.

කස‍්සපසුත‍්තං

කාශ්‍යප සූත්‍රය

එවං මෙ සුත: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා මහාකස‍්සපො පිප‍්පලිගුහායං විහරති ආබාධිකො දුක‍්ඛිතො බාළ‍්හගිලානො. අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො අපරෙන සමයෙන තම‍්හා ආබාධා වුට‍්ඨාසි.

මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කාලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එ සමයෙහි ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ආබාධික ව දුඃඛිත ව දැඩි ගිලන් ව පිප්ඵලි ගුහාවෙහි වසන සේක.

අථ ඛො ආයස‍්මතො මහාකස‍්සපස‍්ස තම‍්හා ආබාධා වුට‍්ඨිතස‍්ස එතදහොසි. – “යන‍්නූනාහං රාජගහං පිණ‍්ඩාය පවිසෙය්‍ය”න‍්ති.

ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පසු කලෙක ඒ ආබාධයෙන් නැඟී සිටි සේක. පසු කලෙක ඒ ආබාධයෙන් නැඟී සිටි මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට “මම් රජගහනුවරට පිඬු පිණිස පිවිසෙන්නෙම් නම් මැනැවැ”යි මෙබඳු සිතෙක් පහළ විය.

තෙන ඛො පන සමයෙන පඤ‍්චමත‍්තානි දෙවතාසතානි උස‍්සුක‍්කං ආපන‍්නානි හොන‍්ති ආයස‍්මතො මහාකස‍්සපස‍්ස පිණ‍්ඩපාතපටිලාභාය.

එසමයෙහි පන්සියක් පමණ දෙවඟනෝ ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේට පිණ්ඩපාතය පිළිලබවනු පිණිස උත්සුක බවට පැමිණියාහු වෙති.

අථ ඛො ආයස‍්මා මහාකස‍්සපො තානි පඤ‍්චමත‍්තානි දෙවතාසතානි පටික‍්ඛිපිත්‍වා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය රාජගහං පිණ‍්ඩාය පාවිසි, යෙන දළිද‍්දවිසිඛා කපණවිසිඛා පෙසකාරවිසිඛා.

ඉක්බිති ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ ඒ පන්සියක් පමණ දෙවඟනන් පිළිකෙවු කොට පෙරවරු වේලෙහි හැඳැ පෙරෙ වැ පාසිවුරු ගෙන රජගහනුවර දිළිඳුන් වසන, දුප්පත් මිනිසුන් වසන, පෙහෙරුන් වසන වීදියට පිඬු පිණිස පිවිසි සේක.

අද‍්දසා ඛො භගවා ආයස‍්මන‍්තං මහාකස‍්සපං රාජගහෙ පිණ‍්ඩාය චරන‍්තං, යෙන දළිද‍්දවිසිඛා කපණවිසිඛා පෙසකාරවිසිඛා.

භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර දිළඳුන් දුගීන් පෙහෙරුන් වසන වීදියෙහි පිඬු පිණිස හැසිරෙන ආයුෂ්මත් මහාකාශ්‍යප ස්ථවිරයන් වහන්සේ දුටු සේක.

අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන ඒ වේලෙහි මේ ප්‍රීතිවාක්‍ය පහළ කළ සේක:

“අනඤ‍්ඤපොසිං අඤ‍්ඤාතං දන‍්තං සාරෙ පතිට‍්ඨිතං, ඛීණාසවං වත‍්තදොසං, තමහං බ්‍රූමි බ්‍රාහ‍්මණ”න‍්ති.

“අනෙකකු පෝෂණය නො කරන සුලු, ප්‍රසිද්ධ වූ (ඉන්‍ද්‍රිය දමනයෙන්) දැමුණු, (විමුක්ති) සාරයෙහි පිහිටි, ක්‍ෂීණ ආස්‍රව ඇති, දුරු කරනලද (රාගාදි) දොස් ඇති, ඒ උත්තමයා බ්‍රාහ්මණයෙකැ යි මම් කියමි”.