යෙදුමෙන් කියවන්න

උපාතිසුත‍්තං

6. 9.

6. 9.

උපාතිසුත‍්තං

උපාති සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ, තෙන ඛො පන සමයෙන භගවා රත‍්තන්‍ධකාරතිමිසායං අබ‍්භොකාසෙ නිසින‍්නො හොති, තෙලප‍්පදීපෙසු ඣායමානෙසු. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා අධිපාතකා තෙසු තෙලප‍්පදීපෙසු ආපාතපරිපාතං අනයං ආපජ‍්ජන‍්ති, ව්‍යසනං ආපජ‍්ජන‍්ති. අද‍්දසා ඛො භගවා තෙ සම‍්බහුලෙ අධිපාතකෙ තෙසු තෙලප‍්පදීපෙසු ආපාතපරිපාතං අනයං ආපජ‍්ජන‍්තෙ ව්‍යසනං ආපජ‍්ජන‍්තෙ.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ රෑ මහඅඳුරෙහි තෙල් පහන් දැල්වෙන කල්හි එළිපහනෙහි වැඩ හුන් සේක් වෙති. එ සමයෙහි බොහෝ පලඟැටියෝ ඒ පහන් ඉදිරියට පැන ද පහන් වටා හැවිද පැන ද දුකටත් මරණයටත් පැමිණෙත්. භාග්‍යවතුන් වහන්සේ ඒ බොහෝ පලඟැටියන් ඒ තෙල්පහන්හි ඉදිරියට පැන ද පහන් වටා හැවිද පැන ද දුකටත් මරණයටත් පැමිණෙන්නවුන් දුටු සේක.

2. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ සලකා එ වේලෙහි මේ උදන් ඇනූ සේක:

“උපාතිධාවන‍්ති න සාරමෙන‍්ති නවං නවං බන්‍ධනං බ්‍රූහයන‍්ති, පතන‍්ති පජ‍්ජොතමිවාධිපාතකා දිට‍්ඨෙ සුතෙ ඉතිහෙකෙ නිවිට‍්ඨා”ති.

“සත්හු දෘෂ්ටිවිපර්‍ය්‍යාසයෙන් අතිධාවනය කරත්. (ශීලාදි) සාරයට නො පැමිණෙත්. තෘෂ්ණාදෘෂ්ටිසඞ්ඛ්‍යාත අලුත් අලුත් බැඳුම් වඩත්. මෙසේ ඇතැම්හු දුටු දැයෙහි ද ඇසු දැයෙහි ද පලඟැටියන් පහනට සෙයින් ඒ අරමුණු කෙරෙහි ශාශ්වතාදි වශයෙන් බැස ගත්තාහු එයට පනිත්.”