යෙදුමෙන් කියවන්න

පඨමනිබ‍්බානසුත‍්තං

8. 1.

8. 1.

පඨමනිබ‍්බානසුත‍්තං

පළමුවන නිර්‍වාණ සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා භික‍්ඛූ නිබ‍්බානපටිසංයුත‍්තාය ධම‍්මියා කථාය සන්‍දස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සම‍්පහංසෙති. තෙ ච භික‍්ඛූ අට‍්ඨිං කත්‍වා මනසි කත්‍වා සබ‍්බං චෙතසො සමන‍්නාහරිත්‍වා ඔහිතසොතා ධම‍්මං සුණන‍්ති.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිවන් පිළිබඳ වූ ධර්‍මකථායෙන් නිවන්තතු දක්වන සේක. එය ගන්වන සේක. එය ගැන්මෙහි උත්සාහවත් කරන සේක. නිවන්ගුණයෙන් මොනොවට සතුටු කරන සේක. ඒ මහණහු ද ඒ දේශනායෙන් ප්‍රයෝජන ඇති ව, ඒ දේශනාව සිත්හි කොට මුළු සිතින් සමනා නතු කළ කන් ඇත්තාහු බණ අසති.

2. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

2. එ කල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:

“අත්‍ථි භික‍්ඛවෙ, තදායතනං, යත්‍ථ නෙව පඨවී, න ආපො, න තෙජො, න වායො, න ආකාසානඤ‍්චායතනං, න විඤ‍්ඤාණඤ‍්චායතනං, න ආකිඤ‍්චඤ‍්ඤායතනං, න නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං, නායං ලොකො, න පරලොකො, න උභො චන්‍දිමසූරියා. තත්‍රාපාහං, භික‍්ඛවෙ, නෙව ආගතිං වදාමි, න ගතිං, න ඨිතිං, න චුතිං, න උපපත‍්තිං. අප‍්පතිට‍්ඨං, අප‍්පවත‍්තං අනාරම‍්මණමෙවෙතං. එසෙවන‍්තො දුක‍්ඛස‍්සා”ති.

“මහණෙනි, යමෙක්හි පෘථිවිධාතුව නැද්ද, ආපෝධාතුව නැද්ද, තේජෝධාතුව නැද්ද, වායුධාතුව නැද්ද, ආකාසානඤ්චායතන සිත නැද්ද, විඤ්ඤාණඤ්චායතන සිත නැද්ද, අකිඤ්ඤචඤ්ඤායතන සිත නැද්ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන සිත නැද්ද, මේ (ස්කන්‍ධ) ලෝකය නැද්ද, මෙයින් උපදනා අන්‍ය (ස්කන්‍ධ) ලෝකයකුත් නැද්ද, (එහි අඳුරක් නැති බැවින් අඳුර දුර ලන්නට) සඳහිරු දෙදෙනෙකුත් නැද්ද, එසේ වූ ඒ ආයතනය (මාර්‍ග ඵලසිතට අරමුණුවන නිවන) ඇත. මහණෙනි, එහිත් කිසිවෙකුගේ ඊමක් යෑමක් සිටීමක් මරණයක් මැරී ඉපැත්මක් නො කියමි. මෙය කිසිවෙක නො පිහිටි, ප්‍රත්‍යයයන්ගෙන් නො පවත්නා, කිසිම අරමුණෙක නො එල්බෙන දහමෙකි. මෙය ම දුකෙහි කෙළවර ය.”