යෙදුමෙන් කියවන්න

තතියනිබ‍්බානසුත‍්තං

8. 3.

8. 3.

තතියනිබ‍්බානසුත‍්තං

තෙවන නිර්‍වාණ සූත්‍රය

1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා භික‍්ඛූ නිබ‍්බානපටිසංයුත‍්තාය ධම‍්මියා කථාය සන්‍දස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සම‍්පහංසෙති. තෙ ච භික‍්ඛූ අට‍්ඨිං කත්‍වා මනසි කත්‍වා සබ‍්බං චෙතසො සමන‍්නාහරිත්‍වා, ඔහිතසොතා ධම‍්මං සුණන‍්ති.

1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූනට නිවන පිළිබඳ දැහැමි කතායෙන් (නිවන් තතු) දක්වන සේක, ගන්වන සේක, එහි උත්සාහවත් කරන සේක, සතුටු කරන සේක. ඒ භික්‍ෂූහු ද ඒ දේශනායෙන් ප්‍රයෝජන ඇති ව, එය සිත්හි කොට, එය මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා) නතු කළ කන් ඇත්තාහු බණ අසත්.

2. අථ ඛො භගවා එතමත්‍ථං විදිත්‍වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:

2. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:

“අත්‍ථි භික‍්ඛවෙ, අජාතං අභූතං අකතං අසඞ‍්ඛතං. නො චෙ තං භික‍්ඛවෙ, අභවිස‍්සා අජාතං අභූතං අකතං අසඞ‍්ඛතං, නයිධ ජාතස‍්ස භූතස‍්ස කතස‍්ස සඞ‍්ඛතස‍්ස නිස‍්සරණං පඤ‍්ඤායෙථ. යස‍්මා ච ඛො භික‍්ඛවෙ, අත්‍ථි අජාතං අභූතං අකතං අසඞ‍්ඛතං, තස‍්මා ජාතස‍්ස භූතස‍්ස කතස‍්ස සඞ‍්ඛතස‍්ස නිස‍්සරණං පඤ‍්ඤායතී”ති.

“මහණෙනි, (වේදනාදීන් මෙන් හේතුප්‍රත්‍යය සමවායයෙන්) නො උපන්, (කාරණයෙන් තොර ව තෙමේ ම) පහළ නොවූ, කිසිවෙකින් නො කරන ලද, ප්‍රත්‍යයයෙන් අසංස්කෘත වූ නිර්‍වාණ ධර්‍මය (පරමාර්‍ත්‍ථ වශයෙන්) ඇත. මහණෙනි, මේ හේතුප්‍රත්‍යයයෙන් නො උපන්, නො පහළ වූ නො කරන ලද, අසංස්කෘත වූ නිර්‍වාණධාතුව (පරමාර්‍ත්‍ථවශයෙන්) අවිද්‍යමාන නම්, මෙහි හේතුප්‍රත්‍යයයෙන් උපන්, පහළ වූ, කරන ලද, සංස්කෘත වූ ස්කන්‍ධපංචකයාගේ නිඃශරණයෙක් (සංහිඳීමෙක්) නො පැනෙන්නේ ය. (නො ලැබියැ හැකි වන්නේ ය.) මහණෙනි, යම් හෙයෙකින් ම නො උපන්, නො පහළ වූ, නො කරන ලද, අසංස්කෘත ධාතුවෙක් පරමාර්‍ත්‍ථ වශයෙන් ඇත් ද, එහෙයින් උපන්, පහළ වූ, කරන ලද, සංස්කෘත වූ ස්කන්‍ධපංචකයාගේ නිඃශරණයෙක් (සංහිඳීමෙක්) පැනේ.”