චතුත්ථනිබ්බානසුත්තං
8. 4.
8. 4.
චතුත්ථනිබ්බානසුත්තං
සිවුවන නිර්වාණ සූත්‍රය
1. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූ නිබ්බානපටිසංයුත්තාය ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨිං කත්වා මනසි කත්වා සබ්බං චෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරැ දෙව්රම් නම් වූ අනේපිඬුහු අරම්හි වැඩ වසන සේක. එ සමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූනට නිර්වාණප්රතිසංයුක්ත ධර්ම කථායෙන් (නිවන් තතු) දක්වන සේක, ගන්වන සේක, එහි උත්සාහවත් කරන සේක, සතුටු කරන සේක. ඒ භික්ෂූහු ද ඒ දේශනායෙන් ප්‍රයෝජන ඇති ව, එය සිත්හි කොට, එය මුල පටන් ම මොනොවට සිතට ගෙන (නුවණින් සලකා), නතු කළ කන් ඇත්තාහු බණ අසත්.
2. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණ දැන එ වේලෙහි මේ උදන් ඇනූ සේක:
“නිස්සිතස්ස චලිතං. අනිස්සිතස්ස චලිතං නත්ථි. චලිතෙ අසති පස්සද්ධි. පස්සද්ධියා සති නති න හොති. නතියා අසති ආගති ගති න හොති. ආගති ගතියා අසති චුතූපපාතො න හොති. චුතූපපාතෙ අසති නෙවිධ න හුරං න උභයමන්තරෙ. එසෙවන්තො දුක්ඛස්සා”ති.
(තෘෂ්ණාදෘෂ්ටි දෙකින්) සංස්කාරයන් ඇසුරු කළාහට (සුවදුක් ආදිය උපන් කල්හි) සිත්සතන්හි කම්පනය වේ. (තෘෂ්ණාදෘෂ්ටි දෙකින්) සංස්කාරයන් ඇසුරු නොකළාහට (හෙවත් විවසුන් වඩන්නාහට තෘෂ්ණාදෘෂ්ටීන් අනිශ්‍රිත බැවින්) කම්පනයෙක් නැත. කම්පනය නැති කල්හි සිත්සතන්හි සංහිඳීම වේ. සංහිඳීම ඇති කල්හි විවසුන් වඩනුවාහට අර්හත්ත්ව මාර්ගක්ෂණයෙහි දී කාමාදි භවයන්හි නැමීම (හෙවත් තෘෂ්ණාව) නො වේ. භවයන්හි නැමීම නැති කල්හි පිළිසිඳ විසින් මේ භවයට ඊමෙක් මෙයින් අන් භවයකට යෑමෙක් නො වේ. භවයෙන් භවයට ඊමක් නැති කල්හි ච්‍යුති උප්පත්ති (මරණයට අනතුරු වැ ඉපැත්ම) නො වේ. ච්‍යුති උප්පත්ති නැති කල්හි මෙහි (කාමභවයේ) ද එහි (අරූපභවයේ) ද මෙ දෙක අතරේ (රූපභවයේ) ද පැවැත්ම නැත. මෙය ම දුකේ කෙළවර ය.”