යෙදුමෙන් කියවන්න

තිලදක‍්ඛිණාවිමානං

1. 10.

1. 10.

85. අභික‍්කන‍්තෙන වණ‍්ණෙන යා ත්‍වං තිට‍්ඨසි දෙවතෙ, ඔභාසෙන‍්තී දිසා සබ‍්බා ඔසධී විය තාරකා.

85. (එම්බා) දෙව්දුව, යම්බඳු වූ තෝ මනා රුසිරෙන් සියලු දිගුන් බබුළුවමින් දවහත් තරුව සේ සිටිවු ද,

86. කෙන තෙ තාදිසො වණ‍්ණො කෙන තෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච තෙ භොගා යෙ කෙචි මනසො පියා.

86. කවර හේතුවකින් තිට එබඳු සිරුරුපැහැයෙක් වී ද? කවර පිනෙකින් තීගේ සුචරිතඵලය මෙහි සමෘද්ධ වේ ද? මන වඩන යම්කිසි සම්පත්තීහු වෙත් ද? ඒ සම්පත්තීහු (කවර පිනෙකින්) තිට පහළ වෙත් ද,

87. පුච‍්ඡාමි තං දෙවි මහානුභාවෙ මනුස‍්සභූතා කිමකාසි පුඤ‍්ඤං, කෙනාසි එවං ජලිතානුභාවා වණ‍්ණො ච තෙ සබ‍්බදිසා පභාසතීති.

87. මහත් අනුභාව ඇති දෙව්දුව, තී විචාරමි. මිනිස් වූවා කවර පිනක් කළහු ද, තීගේ මේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි. (කවර පිනෙකින්) මෙබඳු දිලියෙන පුණ්‍යර්ද්ධි ඇත්තී වවු ද?

88. සා දෙවතා අත‍්තමනා මොග‍්ගල‍්ලානෙන පුච‍්ඡිතා. පඤ‍්හං පුට‍්ඨා වියාකාසි යස‍්ස කම‍්මස‍්සිදං ඵලං.

88. මුගලන් තෙරුන් විසින් පුළුවුස්නා ලද ඒ දෙව්දූ තොමෝ තුටුසිත් ඇත්තී මේ පුණ්‍යඵලය යම් කවර කර්‍මයක්හුගේ දැයි පැන පුළුවුස්නා ලද්දී (මෙසේ) පැවසූ ය.

89. අහං මනුස‍්සෙසු මනුස‍්සභූතා පුරිමාය ජාතියා මනුස‍්සලොකෙ. අද‍්දසං විරජං බුද‍්ධං විප‍්පසන‍්නමනාවිලං

89. මම පෙර අත්බැව්හි මිනිස් ලොවැ මිනිසුන් අතර මිනිස් දුවක් වූමු. (එකල මම) පහවූ රාගාදී රජස් ඇති වෙසෙසින් පහන් වූ නොකැළඹුණු සිත් ඇති බුදුන් දුටිමි.

90. ආසජ‍්ජ දානං අදාසිං අකාමා තිලදක‍්ඛිණං දක‍්ඛිණෙය්‍යස‍්ස බුද‍්ධස‍්ස පසන‍්නා සෙහි පාණිහි.

90. (දැක දෙය ධර්‍මය නොවටින්නක් හෙයින් ඒ ගැන) නොකැමැත්තෙන් ඉදිරියට පැමිණ දක්‍ෂිණාවට සුදුසු වු බුදුරජාණන් වහන්සේට පහන්සිත් ඇති ව සියතින් ම තලදොහොතක් දුනිමි.

91. තෙන මෙ තාදිසො වණ‍්ණො තෙන මෙ ඉධමිජ‍්ඣති, උප‍්පජ‍්ජන‍්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.

91. ඒ පිනෙන් මාගේ සිරුරුපැහැය එබඳු වෙයි. ඒ පිනෙන් මාගේ සම්පත්තිය මෙහි සමෘද්ධ වෙයි. මන වඩන යම් කිසි සම්පත්තීහු වෙත් ද ඒ සම්පත්තීහු මට පහළ වෙත්.

92. අක‍්ඛාමි තෙ භික‍්ඛු මහානුභාව මනුස‍්සභූතා යමකාසි පුඤ‍්ඤං, තෙනම‍්හි එවං ජලිතානුභාවා වණ‍්ණො ච මෙ සබ‍්බදිසා පභාසතීති.

92. මහත් ආනුභාව ඇති ශ්‍රමණයන් වහන්ස, මිනිස්දුවක් වූ මම යම් පිනක් කෙළෙම් ද (එය) ඔබට කියමි. එයින් මෙසේ දිලියෙන පුණ්‍යර්ධි ඇත්තී වෙමි. මාගේ සිරුරුපැහැය ද සියලු දිගුන් බබුළුවයි.

තිලදක‍්ඛිණාවිමානං.

තිලදක්‍ෂිණාවිමාන යි.