චණ්ඩාලීවිමානං
2. 4.
2. 4.
193. චණ්ඩාලී වන්ද පාදානි ගොතමස්ස යසස්සිනො, තවෙව අනුකම්පාය අට්ඨාසි ඉසිසත්තමො
193. එම්බා සැඬොලිය, යසස් ඇති ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයන් වඳුව. ශෛක්ෂ-අශෛක්ෂ බුද්ධ ප්රත්යෙක බුද්ධ ඍෂිනට වඩා උතුම් වූ නොහොත් විපස්සී ආදී බුදුවරයන් අතර සත්වැනි වූ ඍෂි ශ්‍රේෂ්ඨයන් වහන්සේ තිට අනුකම්පා පිණිස ම මෙහි වැඩ සිටිසේක.
194. අභිප්පසාදෙහි මනං අරහත්තම්හි තාදිනී, ඛිප්පං පඤ්ජලිකා වන්ද පරිත්තං තව ජීවිතන්ති
194. තාදී වූ රහතුන් වහන්සේ කෙරෙහි සිත පහදුව බඳැදිලි ඇත්තී වහා වඳුව, තීගේ ජීවිතය ඉතා ස්වල්ප ය.
195. චොදිතා භාවිතත්තෙන සරීරන්තිමධාරිනා, චණ්ඩාලී වන්දි පාදානි ගොතමස්ස යසස්සිනො
195. පැසුළු සිරුරු දරන වැඩු සිතැත්තහු විසින් මෙහෙයවන ලද සෙඩොලී යසස් ඇති ගෞතම බුදුරදුන්ගේ පා වැන්දා ය.
196. තමෙනමවධී ගාවී චණ්ඩාලිං පඤ්ජලිං ඨිතං, නමස්සමානං සම්බුද්ධං අන්ධකාරෙ පභඞ්කරන්ති
196. ගවදෙනක් තොමෝ අවිද්යාන්ධකාරයෙන් අඳුරු වූ ලෝකයෙහි නැණලු දෙන බුදුරජුන් බඳැදිලි ව වඳිමින් සිටි ඒ සැඩොලිය ඇණ මැරුවා ය.
197. ඛීණාසවං විගතරජං අනෙජං එකං අරඤ්ඤම්හි රහො නිසින්නං දෙවිද්ධිපත්තා උපසඞ්කමිත්වා වන්දාමි තං වීර මහානුභාවාති
197. වීරයන් වහන්ස, දිව්‍යර්ධියට පැමිණි මම මහත් අනුභාව ඇති ක්ෂය කළ ආසවයන් ඇති පහවූ කෙලෙස් රජස් ඇති තෘෂ්ණා රහිත වෙනෙහි එකලාව විවේකී ව වැඩහුන් ඔබ වහන්සේ වඳිමි.
198. සුවණ්ණවණ්ණා ජලිතා මහායසා විමානමොරුය්හ අනෙකචිත්තා පරිවාරිතා අච්ඡරානං ගණෙන කා ත්වං සුභෙ දෙවතෙ වන්දසෙ මමන්ති.
198. සොඳුරු දෙව්දුව, රන්වන් පැහැ ඇති සිය සිරුරුපැහැයෙන් දිලෙන පිරිවර ඇති නොයෙක් ලෙසින් විසිතුරු වූ දිවසරන් විසින් පිරි වරනු ලැබූ කිනම් දෙවඟනක් වූ තෝ විමනෙන් බැස මා වඳනෙහි ද?
199. අහං භදන්තෙ චණ්ඩාලී තයා වීරෙන පෙසිතා, වන්දිං අරහතො පාදෙ ගොතමස්ස යසස්සිනො
199. පින්වතුන් වහන්ස, වීර වූ ඔබ වහන්සේ විසින් මෙහෙයන ලද සැඩොලියක් වූ මම යසස් ඇති රහත් වූ ගෞතම බුදුරදුන්ගේ පා වැන්දෙමි.
200. සාහං වන්දිත්ව පාදානි චුතා චණ්ඩාලයොනියා, විමානං සබ්බතො භද්දං උපපන්නම්භි නන්දනං
200. ඒ මම බුදුරදුන්ගේ පා වැඳ සැඬොල් බවෙන් ච්‍යුත ව නඳුන් වෙනෙහි හැමලෙසින් සොඳුරු වූ විමනෙක උපන්නී වෙමි.
201. අච්ඡරානං සතසහස්සං පුරක්ඛත්වාන තිට්ඨති, තාසාහං පවරා සෙට්ඨා වණ්ණෙන යස්සා යුතා.
201. දෙවසරක් සිය දහසෙක් මා පෙරටු කොට සිටී. ඔවුනතුරෙන් මම වර්ණයෙන් යසසින් හා ආයුෂයෙන් ද ඒ දිවසරනට වඩා උතුම් වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි.
202. පහූතකතකල්යාණා සම්පජානා පතිස්සතා, මුනිං කාරුණිකං ලොකෙ තං භන්තෙ වන්දිතුමාගතාති.
202. වහන්ස, බොහෝ කළ පින් ඇති මනා නුවණැති මනා සිහි ඇති මම ලෝකයෙහි මහාකාරුණික වූ ඒ බුදුරදුන් වැඳීම සඳහා පැමිණියා වෙමි.
203. ඉදං වත්වාන චණ්ඩාලී කතඤ්ඤූ කතවෙදිනී, වන්දිත්වා අරහතො පාදෙ තත්ථෙවන්තරධායථාති.
203. කෘතඥ වූ කෘතවේදිනී වූ ඒ සැඬොල් දෙවඟන මෙය කියා අරහත් වූ මුගලන් මහතෙරුන්ගේ පා වැඳ එහි ම අතුරුදහන් වූවා ය.