යෙදුමෙන් කියවන්න

සාධුසුත‍්තං

1. 4. 3.

1. 4. 3.

සාධුසුත‍්තං

සාධු සූත්‍රය

33. සාවත්‍ථියං–

33. සැවැත්නුවර–

අථ ඛො සම‍්බහුලා සතුල‍්ලපකායිකා දෙවතායො අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. එකමන‍්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං උදානං උදානෙසි:

එකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ උදානය පහළ කෙළේ ය:

සාධු ඛො මාරිස දානං.

නිදුකානන් වහන්ස, දීම මැනවි.

මච‍්ඡෙරා ච පමාදා ච එවං දානං න දීයති, පුඤ‍්ඤමාකඞ‍්ඛමානෙන දෙය්‍යං හොති විජානතාති.

මසුරු කමින් ද, ප්‍රමාදයෙන් ද මෙසේ දානය නො දෙනු ලැබේ. පින් කැමති (පින්පල) දන්නහු විසින් දිය යුතු වෙයි.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං උදානං උදානෙසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ උදානය පහළ කෙළේ ය:

සාධු ඛො මාරිස දානං. අපි ච අප‍්පස‍්මිම‍්පි සාධු දානං.

නිදුකානන් වහන්ස, දීම මැනවි. තව ද, මඳක් ඇති කල්හිත් දීම මැනවි.

අප‍්පස‍්මෙකෙ පවෙච‍්ඡන‍්ති බහුනෙකෙ න දිච‍්ඡරෙ, අප‍්පස‍්මා දක‍්ඛිණා දින‍්නා සහස‍්සෙන සමං මිතාති.

ඇතැම්හු මඳක් ඇති කල්හිත් දෙති. ඇතැම්හු බොහෝ භෝගයෙන් සමන්‍වාගත වූවාහු ද නො දෙතී. මඳෙකින් දෙන ලද දක්‍ෂිණාව දහසක් හා සම ය යි ප්‍රමාණ කරණ ලදී.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං උදානං උදානෙසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කෙළේ ය:

සාධු ඛො මාරිස දානං. අප‍්පස‍්මිම‍්පි සාධු දානං. අපි ච සද‍්ධායපි සාධු දානං.

නිදුකානන් වහන්ස, දීම මැනවි. ස්වල්පයක් ඇති කල්හි දීමත් මැනවි. තව ද, ශ්‍රද්ධායෙන් දීමත් මැනවි.

දානඤ‍්ච යුද‍්ධඤ‍්ච සමානමාහු අප‍්පාපි සන‍්තා බහුකෙ ජිනන‍්ති, අප‍්පම‍්පි චෙ සද‍්දහානො දදාති තෙනෙව සො හොති සුඛී පරත්‍ථාති.

දානයත් යුද්දයත් සමාන ය යි කියත්. ස්වල්ප වූත් වීරපුරුෂයෝ බොහෝ වූ බියසුල්ලන් දිනත්. ඉදින් සැදැහැත්තේ ස්වල්පයකුත් දේ ද, එයින් ම හෙ තෙමේ පරලොව සුව ඇත්තේ වේ.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං උදානං උදානෙසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කෙළේ ය:

සාධු ඛො මාරිස දානං. අප‍්පස‍්මිම‍්පි සාධු දානං. සද‍්ධායපි සාධු දානං. අපි ච ධම‍්මලද‍්ධස‍්සපි සාධු දානං.

නිදුකානන් වහන්ස, දීම මැනවි. මඳක් ඇති කල්හි දීමත් මැනවි. සැදැහැයෙන් දීමත් මැනවි. තව ද, දැහැමින් ලද දෙයක් දත් දහම් ඇති ආර්‍ය්‍යපුද්ගලයකුට දීමත් මැනවි.

යො ධම‍්මලද‍්ධස‍්ස දදාති දානං උට‍්ඨානවීරියාධිගතස‍්ස ජන‍්තු, අතික‍්කම‍්ම සො වෙතරණිං යමස‍්ස දිබ‍්බානි ඨානානි උපෙති මච‍්චොති.

යම් සත්ත්‍වයෙක් උත්‍ථානයෙන් හා වීර්‍ය්‍යයෙන් ලැබූ වස්තු දත් දහම් ඇති ආර්‍ය්‍යපුද්ගලයෙකුට දන් දේ ද, ඒ මිනිස් තෙමේ යමයාගේ වේතරණී නිරය ඉක්මවා දිව්‍යස්ථානයන්ට පැමිණේ.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං උදානං උදානෙසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කෙළේ ය:

සාධු ඛො මාරිස දානං. අප‍්පස‍්මිම‍්පි සාධු දානං. සද‍්ධායපි සාධු දානං. ධම‍්මලද‍්ධස‍්ස පි සාධු දානං. අපි ච විචෙය්‍ය දානම‍්පි සාධු.

නිදුකානන් වහන්ස, දීම මැනවි, මඳක් ඇති කල්හි දීමත් මැනවි. සැදැහැයෙන් දීමත් මැනවි. දැහැමින් ලද දෙය දත් දහම් ඇත්තකුට දීමත් මැනවි. තව ද, (දානවස්තූන් හා ප්‍රතිග්‍රාහකයන්) තෝරා ගෙණ දීමත් මැනවි.

විචෙය්‍ය දානං සුගතප‍්පසත්‍ථං යෙ දක‍්ඛිණෙය්‍යා ඉධ ජීවලොකෙ, එතෙසු දින‍්නානි මහප‍්ඵලානි බීජානි වුත‍්තානි යථා සුඛෙත‍්තෙති.

තෝරා ගෙණ දීම භාග්‍යවතුන් වහන්සේ විසින් පසස්නා ලදී. මේ සත්ත්‍වලෝකයෙහි යම් දක්‍ෂිණාර්‍හයෝ වෙද්ද, මොවුන් විෂයෙහි දෙන ලද්දාහු සරු කෙතෙක වපුළ බිජුවට මෙන් මහත්ඵල වෙත්.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමං උදානං උදානෙසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ප්‍රීතිවාක්‍යය පහළ කෙළේ ය:

සාධු ඛො මාරිස දානං. අප‍්පස‍්මිම‍්පි සාධු දානං. සද‍්ධායපි සාධු දානං. ධම‍්මලද‍්ධස‍්සපි සාධු දානං. විචෙය්‍ය දානම‍්පි සාධු. අපි ච පාණෙසුපි සාධු සංයමො.

නිදුකානන් වහන්ස, දීම මැනවි. මඳක් ඇති කල්හි දීමත් මැනවි. සැදැහැයෙන් දීමත් මැනවි. දැහැමින් ලද දෙය දත් දහම් ඇත්තකුට දීමත් මැනවි. තෝරා දීමත් මැනවි. තව ද, ප්‍රාණීන් කෙරෙහි සංයමයත් (ප්‍රාණඝාතයෙන් වැළැක්මත්) මැනවි.

යො පාණභූතෙසු අහෙඨයං චරං පරූපවාදා න කරොති පාපං, භීරුං පසංසන‍්ති න හි තත්‍ථ සූරං භයා හි සන‍්තො න කරොන‍්ති පාපන‍්ති.

යමෙක් සත්ත්‍වයන් නො වෙහෙසමින් හැසිරෙන්නේ පරෝපවාද හේතුවෙන් පව් නො කෙරේ ද, එහි ලා (සත්පුරුෂයෝ) පවට බියසුල්ලාට පසසත්. (පව්කිරීමෙහී) සූරයා නො පසසත්. සත්පුරුෂයෝ උපවාදයන්ට බියෙන් පව් නො කෙරෙත් ම ය. එහෙයිනි.

අථ ඛො අපරා දෙවතා භගවන‍්තං එතදවොච: කස‍්ස නු ඛො භගවා සුභාසිතන‍්ති?

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භාග්‍යවතුන් වහන්ස, කවරකු විසින් මැනවින් කියන ලද ද?

[භගවා:]

[භගවත්හු:]

සබ‍්බාසං වො සුභාසිතං පරියායෙන. අපි ච මමාපි සුණාථ:

තොප සියල්ලන් විසින් පර්‍ය්‍යායයෙන් සුභාෂිත ය. වැලි දු මාගේ (වචනය) ද අසවු:

සද‍්ධාහි දානං බහුධා පසත්‍ථං දානා ච ඛො ධම‍්මපදංව සෙය්‍යො, පුබ‍්බෙ ච හි පුබ‍්බතරෙ ච සන‍්තො නිබ‍්බාණමෙවජ‍්ඣගමුං සපඤ‍්ඤාති.

සැදැහැයෙන් දීම නන්අයුරින් පසස්නා ලදී. දානයට වඩා ධර්‍ම පදය හෙවත් නිර්‍වාණය ම ශ්‍රේෂ්ඨ ය. පෙර ද, ඉතා පෙර ද, නුවණැතී සත්පුරුෂයෝ නිවණ ම අවබෝධ කළාහු ය.