යෙදුමෙන් කියවන්න

සද‍්ධාසුත‍්තං

1. 4. 6.

1. 4. 6.

සද‍්ධාසුත‍්තං.

සද්ධා සූත්‍රය.

36. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. අථ ඛො සම‍්බහුලා සතුල‍්ලපකායිකා දෙවතායො අභික‍්කන‍්තාය රත‍්තියා අභික‍්කන‍්තවණ‍්ණා කෙවලකප‍්පං ජෙතවනං ඔභාසෙත්‍වා යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං අට‍්ඨංසු. එකමන‍්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන‍්තිකෙඉමං ගාථං අභාසි:

36. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරමෙහි වැඩවසන සේක. එකල්හි විශිෂ්ට ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගියකල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:

සද‍්ධා දුතියා පුරිසස‍්ස හොති නො චෙ අස‍්සද‍්ධියං අවතිට‍්ඨති යසො ච කිත‍්තී ච තත්‍වස‍්ස හොති. සග‍්ගඤ‍්ච සො ගච‍්ඡති සරීරං පහායාති.

පුරුෂයාට ශ්‍රද්ධාව දෙවැනි වේ. ඉදින් සැදැහැ නැති බව නො සිටී නම්, ඒ හේතුවෙන් ඔහුට පිරිවර ද කීර්තිය ද වෙයි. හෙතෙමේ සිරුර හැර පියා ස්වර්‍ගයට ද යෙයි.

අථ ඛො අපරා දෙවතා භගවතො සන‍්තිකෙ ඉමා ගාථායො අභාසි:

ඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය:

කොධං ජහෙ විප‍්පජහෙය්‍ය මානං සංයොජනං සබ‍්බමතික‍්කමෙය්‍ය, තං නාමරූපස‍්මිමසජ‍්ජමානං අකිඤ‍්චනං නානුපතන‍්ති සඞ‍්ගාති.

ක්‍රෝධය දුර ලන්නේ ය. මානය වෙසෙසින් බැහැර ලන්නේ ය. සියලු සංයෝජන ඉක්මවන්නේ ය. නාමරූප දෙක්හි නොඇලෙන කෙලෙස් පළිබෝධ රහිත වූ ඔහු මත සඞ්ගයෝ නො වැටෙත්.

පමාදමනුයුඤ‍්ජන‍්ති බාලා දුම‍්මෙධිනො ජනා අප‍්පමාදඤ‍්ච මෙධාවී ධනං සෙට‍්ඨං’ව රක‍්ඛති.

බාල වූ නුවණ නැත්තා වූ ජනයෝ ප්‍රමාදයෙහි යෙදෙත්. නුවණැත්තේ අප්‍රමාදය ශ්‍රේෂ්ඨ ධනය මෙන් රකී.

මා පමාදමනුයුඤ‍්ජෙථ මා කාමරතිසන්‍ථවං අප‍්පමත‍්තො හි ඣායන‍්තො පප‍්පොති පරමං සුඛන‍්ති.

ප්‍රමාදයෙහි නහමක් යෙදෙන්නේ ය. කාමරතියෙහි යෙදීම නො කරන්නේ ය. අප්‍රමත්ත පුද්ගල තෙමේ වනාහි ධ්‍යාන කරන්නේ උතුම් සුවයට පැමිණේයි.