යෙදුමෙන් කියවන්න

පත‍්තසුත‍්තං

4. 2. 6.

4. 2 .6.

පත‍්තසුත‍්තං.

පත්ත සූත්‍රය

152. සාවත්‍ථියං–

152. සැවැත්නුවර–

තෙන ඛො පන සමයෙන භගවා පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං උපාදාය භික‍්ඛූ ධම‍්මියා කථාය සන්‍දස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සම‍්පහංසෙති. තෙ ච භික‍්ඛූ අට‍්ඨි කත්‍වා මනසි කත්‍වා සබ‍්බචෙතසා සමන‍්නාහරිත්‍වා ඔහිතසොතා ධම‍්මං සුණන‍්ති.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ උපාදානස්කන්‍ධ පස පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. සමාදානයෙහි උත්සාහවත් කරණ සේක. හිත හර්‍ෂ ගන්වන සේක. ඒ භික්‍ෂූහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇති ව බණ අසත්.

අථ ඛො මාරස‍්ස පාපිමතො එතදහොසි: අයං ඛො සමණො ගොතමො පඤ‍්චන‍්නං උපාදානක‍්ඛන්‍ධානං උපාදාය භික‍්ඛූ ධම‍්මියා කථාය සන්‍දස‍්සෙති සමාදපෙති සමුත‍්තෙජෙති සම‍්පහංසෙති. තෙ ච භික‍්ඛූ අට‍්ඨි කත්‍වා මනසි කත්‍වා සබ‍්බචෙතසා සමන‍්නාහරිත්‍වා ඔහිතසොතා ධම‍්මං සුණන‍්ති. යන‍්නූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ‍්කමෙය්‍යං විචක‍්ඛුකම‍්මායාති.

එලක්හි පවිටු මරුහට මේ අදහස වි ය. මේ මහණ ගොයුම් උපාදානස්කන්‍ධ පස පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සිත හර්‍ෂ ගන්වයි. ඒ භික්‍ෂූහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු හිතින් සමනා ගෙණ යොමු කළ කන් ඇති ව බණ අසත්. (බණ අසන්නවුන්ගේ) පැණැස වනසන්නට මහණ ගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි!

තෙන ඛො පන සමයෙන සම‍්බහුලා පත‍්තා අබ‍්භොකාසෙ නික‍්ඛිත‍්තා හොන‍්ති. අථ ඛො මාරො පාපිමා බලිවද‍්දවණ‍්ණං අභිනිම‍්මිනිත්‍වා යෙන තෙ පත‍්තා තෙනුපසඞ‍්කමි. අථ ඛො අඤ‍්ඤතරො භික‍්ඛු අඤ‍්ඤතරං භික‍්ඛුං එතදවොච: භික‍්ඛු භික‍්ඛු එසො බලිවද‍්දො පත‍්තෙ භින්‍දෙය්‍යාති.

එකල්හි බොහෝ පාත්‍රයෝ එළියෙහි බහන ලද්දාහු වෙත්. එකල්හි පවිටු මාර තෙමේ ගොන්වෙසක් මවා ගෙණ ඒ පාත්‍රයන් වෙත එළඹියේ ය. එකල්හි එක්තරා මහණෙක් එක්තරා මහණකුට “මහණ, මහණ, මේ ගොණා පාත්‍රයන් බිඳුනේ ය” යි මෙය කී ය.

එවං වුත‍්තෙ භගවා තං භික‍්ඛුං එතදවොච: න සො භික‍්ඛු බලිවද‍්දො මාරො එස පාපිමා, තුම‍්හාකං විචක‍්ඛුකම‍්මායාගතොති. අථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්‍වා මාරං පාපිමන‍්තං ගාථාහි අජ‍්ඣභාසි:

මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට “මහණ, හේ ගොණෙක් නොවේ. මේ පවිටු මරු ය. තොපගේ පැණැස වනසන්නට පැමිණියේ ය”යි මෙය වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් වදාළ සේක:

රූපං වෙදයිතං සඤ‍්ඤං විඤ‍්ඤාණං යඤ‍්ච සඞ‍්ඛතං, නෙසො හමස‍්මි නෙතං මෙ එවං තත්‍ථ විරජ‍්ජති.

රූපය හා වේදනාව හා සංඥාව හා විඥානය හා යම් සංස්කාරධර්‍මයෙක් වේ නම් එය හා මේ පස්කඳ මම නො වෙමි. තෙල මා ගැත්තේ නොවේ යයි මෙසේ එහි නො ඇලේ.

එවං විරත‍්තං ඛෙමත‍්තං සබ‍්බසංයොජනාතිගං, අන්‍වෙසං සබ‍්බඨානෙසු මාරසෙනාපි නාජ‍්ඣගාති.

මෙසේ නො ඇලුනු ක්‍ෂේමප්‍රාප්ත අත්බැව් ඇති සියලු බවබැඳුම් ඉක්මවා සිටි රහත්හු කොහිදැයි සියලු තන්හි සොයන මරපිරිස් ද නො දැක්කේ ය.

අථ ඛො මාරො පාපිමා -පෙ- තත්‍ථෙවන‍්තරධායීති.

ඉක්බිති පවිටු මාර තෙමේ … එහි ම අතුරුදහන් වි ය.