යෙදුමෙන් කියවන්න

බකබ්‍රහ‍්මසුත‍්තං

6. 1. 4.

6. 1. 4.

බකබ්‍රහ‍්මසුත‍්තං.

බකබ්‍රහ්ම සූත්‍රය

175. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන බකස‍්ස බ්‍රහ‍්මුනො එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති: ඉදං නිච‍්චං, ඉදං ධුවං, ඉදං සස‍්සතං, ඉදං කෙවලං, ඉදං අචවනධම‍්මං. ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උපපජ‍්ජති. ඉතො ච පනඤ‍්ඤං උත‍්තරිං නිස‍්සරණං නත්‍ථීති.

175. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි බක බ්‍රහ්මයාහට “මෙය (බ්‍රහ්මස්ථානය) නිත්‍ය ය. මෙය ස්ථිරය, මෙය ශාශ්වත ය. මෙය කේවලය. මෙය ච්‍යුත නො වන ස්වභාව ඇත්තේ ය. මෙය නූපදී යි. නො දිරයි. නො මියෙයි. ච්‍යුත නො වේ. නො හටගණී. මෙයින් මතු අන් නිස්සරණයෙක් නැතැ”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටියෙක් උපන.

අථ ඛො භගවා බකස‍්ස බ්‍රහ‍්මුනො චෙතසා චෙතොපරිවිතක‍්කමඤ‍්ඤාය සෙය්‍යථාපි නාම බලවා පුරිසො සමිඤ‍්ජිතං වා බාහං පසාරෙය්‍ය පසාරිතං වා බාහං සම‍්මිඤ‍්ජෙය්‍ය, එවමෙව ජෙතවනෙ අන‍්තරහිතො තස‍්මිං බ්‍රහ‍්මලොකෙ පාතුරහොසි. අද‍්දසා ඛො බකො බ්‍රහ‍්මා භගවන‍්තං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන භගවන‍්තං එතදවොච: එහි ඛො මාරිස. ස‍්වාගතං තෙ මාරිස. චිරස‍්සං ඛො මාරිස ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. ඉදං හි මාරිස නිච‍්චං, ඉදං ධුවං, ඉදං සස‍්සතං, ඉදං කෙවලං, ඉදං අචවනධම‍්මං, ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උපපජ‍්ජති. ඉතො ච පනඤ‍්ඤං උත‍්තරිං නිස‍්සරණං නත්‍ථීති.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ තමසිතින් බකබඹුහුගේ චිත්තපරිවිතර්‍කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අත දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අත හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම දෙව්රම්හි අතුරුදන් වූසේක් ඒ බඹලොව පහළ වූ සේක. බකබ්‍රහ්ම තෙමේ එන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදී ම දැක්කේ ය. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය: “නිදුකානෙනි, එනු මැනව. නිදුකානෙනි, මුබට ස්වාගත වේවා. නිදුකානෙනි, මෙහි පැමිණීම පිණිස බොහෝ කලෙකින් මේ පර්‍ය්‍යාය කෙළෙහි ය. නිදුකානෙනි, මෙය නිත්‍ය ය. මෙය ස්ථිරය, මෙය ශාශ්වත ය. මෙය කේවලය. මෙය ච්‍යුත නොවන ස්වභාවය ඇත්තේ ය, මෙය නූපදී. නො දිරයි. නො මියේ, ච්‍යුත නො වේ, නො හටගණී. මෙයින් මතු අනික් නිස්සරණයෙක් නැතැයි.

එවං වුත‍්තෙ භගවා බකබ්‍රහ‍්මානං ඉදමවොච: අවිජ‍්ජාගතො වත භො බකො බ්‍රහ‍්මා, අවිජ‍්ජාගතො වත භො බකො බ්‍රහ‍්මා. යත්‍ර හි නාම අනිච‍්චඤ‍්ඤෙව සමානං නිච‍්චන‍්ති වක‍්ඛති. අද‍්ධුවඤ‍්ඤෙව සමානං ධුවන‍්ති වක‍්ඛති. අසස‍්සතඤ‍්ඤෙව සමානං සස‍්සතන‍්ති වක‍්ඛති. අකෙවලඤ‍්ඤෙව සමානං කෙවලන‍්ති වක‍්ඛති. චවනධම‍්මඤ‍්ඤෙව සමානං අචවනධම‍්මන‍්ති වක‍්ඛති. යත්‍ථ ච පන ජායති ච ජීයති ච මීයති ච චවති ච උපපජ‍්ජති ච. තඤ‍්ච තථා වක‍්ඛති: ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උපපජ‍්ජති. සන‍්තඤ‍්ච පනඤ‍්ඤං උත‍්තරිං නිස‍්සරණං, නත්‍ථඤ‍්ඤං උත‍්තරිං නිස‍්සරණන‍්ති වක‍්ඛතීති.

මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ බක බඹහට මෙය වදාළ සේක: “යමෙක් නම් අනිත්‍ය වූවක් ම නිත්‍ය යයි කියා ද, අස්ථිර වූවක් ම ස්ථිර යයි කියා ද, අශාශ්වත වූවක් ම ශාශ්වත යයි කියා ද, ඛණ්ඩ වූවක් ම අඛණ්ඩ යයි කියා ද, ච්‍යුතවන ස්වභාවා ඇත්තක් ම ච්‍යුත නො වන ස්වභාව ඇත්තෙකැයි කියා ද, යමක් හටගණීද, දිරා ද, මියේ ද, ච්‍යුත වේ ද, නො හටගණී ද, එයත් මෙය නූපදී, නො දිරයි, නො මියෙයි, ච්‍යුත නො වෙයි, නො හටගණීයයි එසේ කියා ද, ඇත්තා වූ ම මත්තෙහි වූ අනෙක් නිස්සරණයෙක් වේ ද, (එසේ වතුදු) මතු අනෙක් නිස්සරණයෙක් නැතැයි කියා ද පින්වත්නි, ඒ බකබ්‍රහ්ම තෙමේ ඒකාන්තයෙන් අවිද්‍යාවෙන් අන්‍ධ වූයේ ය. පින්වත්නි, ඒ බකබ්‍රහ්ම තෙමේ ඒකාන්තයෙන් අවිද්‍යාවෙන් අන්‍ධ වූයේ ය” යි.

[බකො බ්‍රහ‍්මා:]

[බක බ්‍රහ්ම:]

ද‍්වාසත‍්තති ගොතම පුඤ‍්ඤකම‍්මා වසවත‍්තිනො ජාතිජරං අතීතා, අයමන‍්තිමා වෙදගූ බ්‍රහ‍්මුපපත‍්ති අස‍්මාභිජප‍්පන‍්ති ජනා අනෙකාති.

ගෞතමයෙනි, (අපි) දෙසැත්තෑදෙනෙක් (කළ) පින්කම් ඇත්තමෝ ජාතිය හා ජරාව හා ඉක්ම වූම්හ. අනුන් තමන් විසිය ලා වැටෙම්හ. වේදසඞ්ඛ්‍යාත ඥානයෙහි කෙළවරට පැමිණියම්හ. මේ අන්තිම බ්‍රහ්මලෝකෝත්පත්ති යයි නොයෙක් ජනයෝ අප ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්.

[භගවා:]

[භගවත්හු:]

අප‍්පං හි එතං න හි දීඝමායු යං ත්‍වං බක මඤ‍්ඤසි දීඝමායුං. සතං සහස‍්සානං නිරබ‍්බුදානං ආයුං පජානාමි තවාහං බ්‍රහ‍්මෙති.

බකබ්‍රහ්මය, තෝ යම් දීර්‍ඝායුෂයක් සිතයි ද, තෙල දීර්‍ඝායුෂයෙක් නො වේ. තගේ (ඉතිරි වූ) ආයුෂ නිරබ්බුද ලක්‍ෂයෙකැ යි මම දනිමි.

[බකො බ්‍රහ‍්මා:]

[බක බ්‍රහ්ම:]

අනන‍්තදස‍්සී භගවාහමස‍්මි ජාතිජරං සොකමුපාතිවත‍්තො, කිං මෙ පුරාණං වත සීලවත‍්තං ආචික‍්ඛ මෙතං යමහං විජඤ‍්ඤාති.

භාග්‍යවත්නි, (තෙපි) මම අනන්තදර්ශී වෙමි යි, ජාතිය හා ජරාව ද, ශෝකය ද ඉක්ම සිටියෙම් වෙමියි (කියව). මාගේ පුරාතන කර්‍මය කිම, ව්‍රතසමාදානය කිම? ශීලය කිම? යමක් (තොප අතින් අසා) මම දන්නෙම් නම් එය මට කියනු මැනව.

[භගවා:]

[භගවත්හු:]

යං ත්‍වං අපායෙසි බහූ මනුස‍්සෙ පිපාසිතෙ ඝම‍්මනි සම‍්පරෙතෙ, තං තෙ පුරාණං වතසීලවත‍්තං සුත‍්තප‍්පබුද‍්ධොව අනුස‍්සරාමි.

ග්‍රීෂ්මකාලයෙහි පීඩිත පිපාසිත වූ බොහෝ මිනිසුන්ට තෝ යම් හෙයෙකින් පැන් පෙවූයෙහි ද, තාගේ ඒ පුරාතන වූ ව්‍රතය හා ශීලය හා නිදා පිබිදියයක්හු මෙන් (මම) සිහි කරමි.

යං එණිකූලස‍්මිං ජනං ගහීතං අමොචයී ගය‍්හකං නීයමානං, තං තෙ පුරාණං වතසීලවත‍්තං සුත‍්තප‍්පබුද‍්ධොව අනුස‍්සරාමි.

ගංඉවුරෙහි (සොරුන් විසින්) අල්ලා ගන්නා ලද අත්පා බැඳ ගෙණ යනු ලබන ජනයා යම් හෙයෙකින් මිදී ද, තාගේ ඒ පුරාතන වූ ව්‍රතය හා ශීලය නිදා පිබිදියක්හු මෙන් (මම) සිහි කරමි.

ගඞ‍්ගාය සොතස‍්මිං ගහීතනාවං ලුද‍්දෙන නාගෙන මනුස‍්සකම්‍යා, පමොචයිත්‍ථ බලසා පසය‍්හ තං තෙ පුරාණං වතසීලවත‍්තං සුත‍්තප‍්පබුද‍්ධොව අනුස‍්සරාමි.

මිනිසුන් නසනු කැමැත්තෙන් රෞද්‍ර වූ නාගයා විසින් ගඟ සළා මැද දී ගන්න ලද නැව බලහත්කාරයෙන් මැඩ මිදුවෙහි ය. ඒ පුරාතන වූ තාගේ ව්‍රතය හා ශීලය නිදා පිබිදියකු මෙන් සිහි කරමි.

කප‍්පො ච තෙ බද‍්ධචරො අහොසිං සම‍්බුද‍්ධිමන‍්තං වතිනං අමඤ‍්ඤිං තං තෙ පුරාණං වතසීලවත‍්තං සුත‍්තප‍්පබුද‍්ධොව අනුස‍්සරාමීති.

තට කප්ප නම් අතවැස්සෙකිම් වීමි. (ඒ තා) නුවණැත්තකු කොට ද ව්‍රතසම්පන්නයකු කොට ද (මම) සිතුවෙමි. ඒ පුරාතන වූ තාගේ ව්‍රතය හා ශීලය නිදා පිබිදියකු මෙන් සිහි කරමි.

[බකො බ්‍රහ‍්මා:]

[බක බ්‍රහ්ම:]

අද‍්ධා පජානාසි මමෙතමායුං අඤ‍්ඤම‍්පි ජානාසි තථා හි බුද‍්ධො, තථා හි ත්‍යායං ජලිතානුභාවො ඔභාසයං තිට‍්ඨති බ්‍රහ‍්මලොකන‍්ති.

මාගේ මේ ආයුෂය ඒකාන්තයෙන් දනිහි, සෙස්ස ද දනිහි, එහෙයින් (මුබ) බුද්ධ වව. එහෙයින් ම මුබගේ මේ දෙලියෙන අනුභාවය මුළුබඹලොව බබුලුවමින් සිටී.