යෙදුමෙන් කියවන්න

ඛොමදුස‍්සසුත‍්තං

7. 2. 12.

7. 2. 12.

ඛොමදුස‍්සසුත‍්තං

ඛොමදුස්ස සූත්‍රය

208. එවං මෙ සුතං: එකං සමයං භගවා සක‍්කෙසු විහරති ඛොමදුස‍්සං නාමං සක්‍යානං නිගමො. අථ ඛො භගවා පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරමාදාය ඛොමදුස‍්සං නිගමං පිණ‍්ඩාය පාවිසි.

208. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි ශාක්‍යයන්ගේ ඛොමදුස්ස නම් නියම්ගම්හි වැඩවසන සේක, එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ඛොමදුස්ස නියම්ගමට පිඬු පිණිස පිවිසි සේක.

තෙන ඛො පන සමයෙන ඛොමදුස‍්සකා බ්‍රාහ‍්මණගහපතිකා සභායං සන‍්නිපතිතා හොන‍්ති කෙනචි දෙව කරණීයෙන. දෙවො ච එකමෙකං ඵුසායති.

එකල, ඛොමදුස්ස නියම්ගම්වැසි බමුණුගැහැවියෝ කිසියම් කටයුත්තක් සඳහා සභායෙහි රැස්වූවාහු වෙති. වැස්ස ද එකිඑකි පොද හෙළයි.

අථ ඛො භගවා යෙන සා සභා තෙනුපසඞ‍්කමි. අද‍්දසංසු ඛො ඛොමදුස‍්සකා බ්‍රාහ‍්මණගහපතිකා භගවන‍්තං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වාන එතදවොචුං: කෙ ච මුණ‍්ඩකා සමණකා කෙ ච සභාධම‍්මං ජානිස‍්සන‍්තීති?

එවිට භාග්‍යවතුන් වහන්සේ ඒ සභාව වෙත එළඹි සේක. ඛොමදුස්සක බමුණුගැහැවියෝ වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුහ. දැක නින්‍දිත මුඩුමහණහු කවරහු ද, කවර කෙනෙක් සභාධර්‍මය දන්නාහු දැ යි මෙය කීහ.

අථ ඛො භගවා ඛොමදුස‍්සකෙ බ්‍රාහ‍්මණගහපතිකෙ ගාථාය අජ‍්ඣභාසි.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඛොමදුස්සක බමුණුගැහැවියන්ට ගාථායෙන් වදාළ සේක:

නෙසා සභා යත්‍ථ න සන‍්ති සන‍්තො සන‍්තො න තෙ යෙ න වදන‍්ති ධම‍්මං, රාගඤ‍්ච දොසඤ‍්ච පහාය මොහං ධම‍්මං වදන‍්තාව භවන‍්ති සන‍්තොති.

යම් තැනෙක සත්පුරුෂයෝ නැද් ද, තෙල සභායෙක් නොවේ. යම් කෙනෙක් ධර්‍මය නො කියද් ද, ඔහු සත්පුරුෂ නොවෙති. රාගය ද, ද්වේෂය ද, මෝහය ද දුරු කොට ධර්‍මය දේශනා කරන්නෝ ම සත්පුරුෂ වෙති.

එවං වුත‍්තෙ ඛොමදුස‍්සකා බ්‍රාහ‍්මණගහපතිකා භගවන‍්තං එතදවොචුං: අභික‍්කන‍්තං භො ගොතම අභික‍්කන‍්තං භො ගොතම. සෙය්‍යථාපි භො ගොතම නික‍්කුජ‍්ජිතං වා උක‍්කුජ‍්ජෙය්‍ය පටිච‍්ඡන‍්නං වා විවරෙය්‍ය, මූළ‍්හස‍්ස වා මග‍්ගං ආචික‍්ඛෙය්‍ය, අන්‍ධකාරෙ වා තෙලපජ‍්ජොතං ධාරෙය්‍ය චක‍්ඛුමන‍්තො රූපානි දක‍්ඛින‍්ති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම‍්මො පකාසිතො. එතෙ මයං භවන‍්තං ගොතමං සරණං ගච‍්ඡාම ධම‍්මඤ‍්ච භික‍්ඛුසඞ‍්ඝඤ‍්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ‍්ජතග‍්ගෙ පාණුපෙතෙ සරණං ගතෙති.

මෙසේ වදාළ කල්හි ඛොමදුස්සක බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දෙයක් විවර කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මඟ කියා දෙන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහයි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් නියරින් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේ ය. මේ අපි භවත් ගොයුම්හු ද, දහම ද, බික්සඟන ද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය අප උපාසකයන් කොට දරණ සේක්වා යි.

උපාසකවග‍්ගො දුතියො.

උපාසක වර්‍ගය දෙවෙනි යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

කසී උදයො දෙවහිතො අඤ‍්ඤතර මහාසාළං මානත්‍ථද‍්ධඤ‍්ච පච‍්චනීකඤ‍්ච නවකම‍්මකට‍්ඨහාරකං මාතුපොසකො භික‍්ඛකො සඞ‍්ගාරවො ඛොමදුස‍්සෙන ද‍්වාදසාති.

කසී, උදය, දේවහිත, අඤ්ඤතරමහාසාළ, මානත්‍ථද්ධ, පච්චනීක, නවකම්ම, කට්ඨහාරක, මාතුපෝසක, භික්ඛක, සඞ්ගාරව, ඛොමදුස්ස සූත්‍රය යි සූත්‍ර දොළොසෙකි.

බ්‍රාහ‍්මණසංයුත‍්තං සමත‍්තං.

බ්‍රාහ්මණ සංයුත්තය නිමියේ ය.