යෙදුමෙන් කියවන්න

වඞ‍්ගීසසුත‍්තං

8. 1. 12.

8. 1. 12.

වඞ‍්ගීසසුත‍්තං

වඞ්ගීස සූත්‍රය

220. එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා වඞ‍්ගීසො අචිරඅරහත‍්තප‍්පත‍්තො හොති විමුත‍්තිසුඛපටිසංවෙදී. තායං වෙලායං ඉමා ගාථායො අභාසි.

220. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසස්ථවිර තෙමේ රහත්බවට පැමිණි නොබෝකල් ඇත්තේ වේ. විමුක්තිසුවය විඳිනේ ඒ වේලාවෙහි මේ ගාථා කී ය.

කාවෙය්‍යමත‍්තා විචරිම‍්හ පුබ‍්බෙ ගාමා ගාමං පුරා පුරං, අථද‍්දසාම සම‍්බුද‍්ධං සද‍්ධා නො උදපජ‍්ජථ.

පෙර කවිකිරීමෙන් මත් ව ගමින් ගම ද නුවරින් නුවර ද හැසුරුනෙමු. ඉක්බිති බුදුරජානන් වහන්සේ දුටු වෙමු. (එයින්) අපට ශ්‍රද්ධාව උපනි.

සො මෙ ධම‍්මමදෙසෙසි ඛන්‍ධායතනධාතුයො, තස‍්සාහං ධම‍්මං සුත්‍වාන පබ‍්බජිං අනගාරියං.

ඒ බුදුරජානන් වහන්සේ ස්කන්‍ධායතනධාතූන් ප්‍රකාශ කෙරෙමින් මට දහම් දෙසූ සේක. මම උන්වහන්සේගේ ධර්‍මය අසා සස්නෙහි පැවිදි වීමි.

බහුන‍්නං වත අත්‍ථාය බොධිං අජ‍්ඣගමා මුනි, භික‍්ඛූනං භික‍්ඛුනීනඤ‍්ච යෙ නියාමගතද‍්දසා.

යම් කෙනෙක් නියාමධර්‍මයට පැමිණියෝ ද, නියාමධර්‍මය දක්නෝ ද බොහෝ වූ ඒ භික්‍ෂූන්ට ද භික්‍ෂුණීන්ට ද වැඩ පිණිස මුනීන්‍ද්‍රයන් වහන්සේ බුද්ධත්‍වයට පැමිණි සේක.

ස‍්වාගතං වත මෙ ආසි මම බුද‍්ධස‍්ස සන‍්තිකෙ, තිස‍්සො විජ‍්ජා අනුප‍්පත‍්තා කතං බුද‍්ධස‍්ස සාසනං.

මම ඒකාන්තයෙන් යහපත් ඊමෙක් විය. මා විසින් බුදුරජානන් වහන්සේ සමීපයෙහි ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. සර්‍වඥයන් වහන්සේගේ ශාසනය කරණ ලද්දේ ය.

පුබ‍්බෙනිවාසං ජානාමි දිබ‍්බචක‍්ඛුං විසොධිතං, තෙවිජ‍්ජො ඉද‍්ධිපත‍්තොම‍්හි චෙතොපරියාය කොවිදොති.

පෙර විසූ කඳපිළිවෙළ දනිමි. දිවැස වෙසෙසින් පිරිසිදු කරණ ලද්දේ ය. ත්‍රිවිද්‍යා ඇත්තෙම් ඍද්ධිවිධඥානයට පැමිණියෙම් චේතෝපරියඤාණයෙහි දක්‍ෂ වූයෙම් වෙමි.

වඞ‍්ගීසවග‍්ගො පඨමො.

වඞ්ගීස වර්‍ගය පළමුවැනි යි.

තත්‍රුද‍්දානං:

එහි උද්දානය:

නික‍්ඛන‍්තං අරති චෙව පෙසලා අතිමඤ‍්ඤනා, ආනන්‍දෙන සුභාසිතා සාරිපුත‍්ත පවාරණා, පරොසහස‍්සං කොණ‍්ඩඤ‍්ඤො මොග‍්ගල‍්ලානෙන ගග‍්ගරා වඞ‍්ගීසෙන ද‍්වාදසාති.

නික්ඛන්ත, අරති, පෙසල, අතිමඤ්ඤනා, ආනන්‍ද, සුභාසිත, සාරිපුත්ත, පවාරණ, පරොසහස්ස, කොණ්ඩඤ්ඤ, මොග්ගල්ලාන, ගග්ගර, වඞ්ගීස යයි සූත්‍ර දොළසෙකි.

වඞ‍්ගීසසංයුත‍්තං සමත‍්තං

වඞ්ගීස සංයුත්තය නිමියේ ය.