යෙදුමෙන් කියවන්න

දුතිය මහාරුක‍්ඛසුත‍්තං

1. 6. 6.

1. 6. 6.

දුතිය මහාරුක‍්ඛසුත‍්තං

දුතිය මහාරුක්ඛ සූත්‍රය

56. සාවත්‍ථියං–

56. සැවැත්නුවර–

සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාරුක‍්ඛො. තස‍්ස යානි චෙව මූලානි අධොගමානි, යානි ච තිරියඞ‍්ගමානි, සබ‍්බානි තානි උද‍්ධං ඔජං අභිහරන‍්ති. එවං හි සො භික‍්ඛවෙ මහාරුක‍්ඛො තදාහාරො තදුපාදානො චිරං දීඝමද‍්ධානං තිට‍්ඨෙය්‍ය.

මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එහි යටට බස්නා යම් මුලුත් වේ ද, සරසට යන යම් මුලුත් වේ ද, ඒ සියල්ල ඕජාව උඩට ගෙණ යේ. මහණෙනි, මෙසේ ඒ මහරුක ඒ ආහාර ඇත්තේ ඒ උපාදාන ඇත්තේ බොහෝ දිගුකලක් සිටුනේ ය.

එවමෙව ඛො භික‍්ඛවෙ, උපාදානීයෙසු ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිනො විහරතො තණ‍්හා පවඩ‍්ඪති. තණ‍්හාපච‍්චයා උපාදානං -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

මහණෙනි, උපාදානිය ධර්‍මයන්හි ආස්වාදය නැවත නැවත දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.

සෙය්‍යථාපි භික‍්ඛවෙ, මහාරුක‍්ඛො. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය කුද‍්දාලපිටකං ආදාය. සො තං රුක‍්ඛං මූලෙ ඡින්‍දෙය්‍ය මූලෙ ඡෙත්‍වා පලිඛණෙය්‍ය. පලිඛණිත්‍වා මූලානි උද‍්ධරෙය්‍ය -පෙ- නදියා වා සීඝසොතාය පවාහෙය්‍ය. එවං හි සො භික‍්ඛවෙ මහාරුක‍්ඛො උච‍්ඡින‍්නමූලො අස‍්ස තාලාවත්‍ථුකතො අනභාවකතො ආයතිං අනුප‍්පාදධම‍්මො.

මහණෙනි, යම්සේ මහරුකෙක් වේ ද, එකල්හි පුරුෂයෙක් උදැල්ලක් හා පැසක් ගෙණ එන්නේ ය. හෙතෙමේ ඒ රුක මුල් සිඳින්නේ ය. මුල් සිඳ හාත්පස සාරන්නේ ය. හාත්පස සාරා මුල් උදුරන්නේ ය ... සැඩපහර ඇති ගඟෙහි හෝ පා කොට හරින්නේ ය. මහණෙනි, මෙසේ ඒ මහරුක උසුන් මුල් ඇත්තේ මුදුන සුන් තලක් මෙන් කරණ ලද්දේ නැවත නො වැඩෙන බවට පත් කරණ ලද්දේ මතු නො හටගන්නා ස්වභාව ඇත්තේ වන්නේ ය.

එවමෙව ඛො භික‍්ඛවෙ, උපාදානීයෙසු ධම‍්මෙසු ආදීනවානුපස‍්සිනො විහරතො තණ‍්හා නිරුජ‍්ඣති. තණ‍්හානිරොධා උපාදානනිරොධො -පෙ- එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස නිරොධො හොතීති.

මහණෙනි, එසෙයින් ම උපාදානිය ධර්‍මයන්හි දෝෂ දක්නාසුලු ව වෙසෙන්නහුගේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. තෘෂ්ණා නිරෝධයෙන් උපාදාන නිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ යි.