යෙදුමෙන් කියවන්න

පුත‍්තමංසසුත‍්තං

1. 7. 3.

1. 7. 3.

පුත‍්තමංසසුත‍්තං

පුත්තමංස සූත්‍රය

63. සාවත්‍ථියං–

63. සැවැත්නුවර–

චත‍්තාරො මෙ භික‍්ඛවෙ, ආහාරා භූතානං වා සත‍්තානං ඨිතියා සම‍්භවෙසීනං වා අනුග‍්ගහාය. කතමෙ චත‍්තාරො? කබළීකාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස‍්සො දුතියො, මනොසඤ‍්චෙතනා තතියා, විඤ‍්ඤාණං චතුත්‍ථං. ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො ආහාරා භූතානං වා සත‍්තානං ඨිතියා සම‍්භවෙසීනං වා අනුග‍්ගහාය.

මහණෙනි, උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිස ද ඉපදීම අපේක්‍ෂා කරණ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිස ද මේ ආහාර සතරෙකි. කවර සතරෙක් ද යත්: ඖදාරික වූ හෝ සුඛුම වූ හෝ කබලීකාර ආහාර ය, දෙවෙනි වූ ස්පර්‍ශාහාර ය, තෙවෙනි වූ මනෝසඤ්චේතනාහාර ය, සිවුවැනි වූ විඥානාහාර ය යි. මහණෙනි, මේ සිවු ආහාර උපන් සත්ත්‍වයන්ගේ ස්ථිතිය පිණිසත් ඉපදීම අපේක්‍ෂා කරනවුන්ට අනුග්‍රහ පිණිසත් වේ.

කථඤ‍්ච භික‍්ඛවෙ, කබළීකාරො ආහාරො දට‍්ඨබ‍්බො? සෙය්‍යථාපි භික‍්ඛවෙ, ද‍්වෙ ජයම‍්පතිකා පරිත‍්තං සම‍්බලං ආදාය කන‍්තාරමග‍්ගං පටිපජ‍්ජෙය්‍යුං. තෙසමස‍්ස එකපුත‍්තකො පියො මනාපො. අථ ඛො තෙසං භික‍්ඛවෙ, ද‍්වින‍්නං ජයම‍්පතිකානං කන‍්තාරගතානං යා පරිත‍්තා සම‍්බලමත‍්තා, සා පරික‍්ඛයං පරියාදානං ගච‍්ඡෙය්‍ය. සියා ච තෙසං කන‍්තාරාවසෙසො අනිත‍්තිණ‍්ණො. අථ ඛො තෙසං භික‍්ඛවෙ, ද‍්වින‍්නං ජයම‍්පතිකානං එවමස‍්ස: අම‍්හාකං ඛො යා පරිත‍්තා සම‍්බලමත‍්තා, සා පරික‍්ඛීණා පරියාදින‍්නා අත්‍ථි චායං කන‍්තාරාවසෙසො අනිත‍්තිණ‍්ණො. යන‍්නූන මයං ඉමං එකපුත‍්තකං පියං මනාපං වධිත්‍වා වල‍්ලූරඤ‍්ච සොණ‍්ඩිකඤ‍්ච කරිත්‍වා පුත‍්තමංසානි ඛාදන‍්තා ද‍්වෙපිමං කන‍්තාරාවසෙසං නිත්‍ථරෙය්‍යාම, මා සබ‍්බෙව තයො විනස‍්සිම‍්හාති. අථ ඛො තෙ භික‍්ඛවෙ, ද‍්වෙ ජයම‍්පතිකා තං එකපුත‍්තකං පියං මනාපං වධිත්‍වා වල‍්ලූරඤ‍්ච සොණ‍්ඩිකඤ‍්ච කරිත්‍වා පුත‍්තමංසානි ඛාදන‍්තා එවං නං කන‍්තාරාවසෙසං නිත්‍ථරෙය්‍යුං. තෙ පුත‍්තමංසානි චෙව ඛාදෙය්‍යුං, උරෙ ච පතිපිංසෙය්‍යුං. ‘කහං එකපුත‍්තක, කහං එකපුත‍්තකා’ති.

මහණෙනි, කබලීකාර ආහාරය කෙසේ දතයුත්තේ ද යත්: මහණෙනි, යම් සේ අඹුසැමි දෙදෙනෙක් මද වූ මාර්ගෝපකරණයක් ගෙන කතරමගට පිළිපන්නාහු ද, ඔවුනට ප්‍රිය මනාප වූ එක් පුතෙක් වන්නේ ය. මහණෙනි, එකල්හි කතරමගට පිළිපන් ඒ දෙමහල්ලන්ගේ මඳ වූ යම් මාර්ගෝපකරණයෙක් වී නම් එය ගෙවීමට නිමාවට යන්නේ ය. ඔවුන් විසින් තරණය නොකරණ ලද කතරමංශේෂයෙක් ද වන්නේ ය. මහණෙනි, එකල්හි ඒ දෙමහල්ලන්ට මෙබඳු අදහසෙක් වන්නේ ය. ‘අපගේ මඳ වූ යම් මගවියදමෙක් වී නම් එය ගෙවුනේ ය. අවසන් වූයේ ය. තරණය නො කරණ ලද ඉතිරි වූ මේ කතරමගෙක් ද ඇත. අපි ප්‍රියමනාප වූ මේ එකම පුතු නසා ඝනමසුත් කටුමසුත් වෙන් කොට පුතුමස් කමින් අපි දෙදෙනා ම ඉතිරි කතරමග එතර කරන්නමෝ නම් යෙහෙකි. (එකල්හි) අපි සියලු තිදෙන ම නො වැනසෙන්නමෝ’ යි. මහණෙනි, ඉක්බිති ඒ දෙමහල්ලෝ ප්‍රියමනාප වූ ඒ එක් පුතු නසා ඝනමසුත් කටුමසුත් වෙන් කොට පුතුමස් කමින් මෙසේ ඉතිරි කතරමග තරණය කරන්නාහ. ඔහු පුතුමස් ද කන්නාහු ය. ‘එක ම පුත කොහි ද? එක ම පුත කොහි දැ?’යි ලෙහි ද පහර දෙන්නාහු ය.

තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, අපි නු තෙ දවාය වා ආහාරං ආහරෙය්‍යුං, මදාය වා ආහාරං ආහරෙය්‍යුං, මණ‍්ඩනාය වා ආහාරං ආහරෙය්‍යුං, විභූසනාය වා ආහාරං ආහරෙය්‍යුං. නො හෙතම‍්භන‍්තෙ. නනු තෙ භික‍්ඛවෙ, යාවදෙව කන‍්තාරස‍්ස නිත්‍ථරණත්‍ථාය ආහාරං ආහාරෙය්‍යුන‍්ති? එවම‍්භන‍්තෙ. එවමෙව ඛ‍්වාහං භික‍්ඛවෙ, කබළීකාරො ආහාරො දට‍්ඨබ‍්බොති වදාමි.

මහණෙනි, ඒ කිමැයි හගිහු ද? ඔහු ක්‍රීඩා පිණිස හෝ ආහාර ගන්නාහු ද? මදය පිණිස හෝ ආහාර ගන්නාහු ද? අලඞ්කාරය පිණිස හෝ ආහාර ගන්නාහු ද? සැරසීම පිණිස හෝ ආහාර ගන්නාහු ද? වහන්ස, මේ නොවේ ම ය. මහණෙනි, ඔහු කතරමග තරණය කිරීම පිණිස ම ආහාර ගන්නාහු නො වෙද්ද? වහන්ස, එසේ ය. මහණෙනි, කබලීකාර ආහාරය මෙසේ ම දතයුතු යයි මම කියමි.

කබලීකාරෙ භික‍්ඛවෙ, ආහාරෙ පරිඤ‍්ඤාතෙ පඤ‍්චකාමගුණිකො රාගො පරිඤ‍්ඤාතො හොති. පඤ‍්චකාමගුණිකෙ රාගෙ පරිඤ‍්ඤාතෙ නත්‍ථි තං සඤ‍්ඤොජනං, යෙන සඤ‍්ඤොජනෙන සංයුත‍්තො අරියසාවකො පුන ඉමං ලොකං ආගච‍්ඡෙය්‍ය.

මහණෙනි, කබලීකාර ආහාරය පිරිසිඳ දත් කල්හි පඤ්චකාම ගුණිකරාගය පිරිසිඳ දත්තේ වෙයි. පඤ්චකාම ගුණිකරාගය පිරිසිඳ දත් කල්හි යම් සංයෝජනයකින් යුක්ත වූ ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ නැවත මෙලොවට එන්නේ නම් ඒ සංයෝජනය නැත්තේය.

කථඤ‍්ච භික‍්ඛවෙ, ඵස‍්සාහාරො දට‍්ඨබ‍්බො? සෙය්‍යථාපි භික‍්ඛවෙ, ගාවී නිච‍්චම‍්මා කුඩ‍්ඩඤ‍්චෙ නිස‍්සාය තිට‍්ඨෙය්‍ය, යෙ කුඩ‍්ඩනිස‍්සීතා පාණා තෙ නං ඛාදෙය්‍යුං. රුක‍්ඛඤ‍්චෙ නිස‍්සාය තිට‍්ඨෙය්‍ය, යෙ රුක‍්ඛනිස‍්සිතා පාණා තෙ නං ඛාදෙය්‍යුං. උදකඤ‍්චෙ නිස‍්සාය තිට‍්ඨෙය්‍ය, යෙ උදකනිස‍්සිතා පාණා තෙ නං ඛාදෙය්‍යුං. ආකාසඤ‍්චෙ නිස‍්සාය තිට‍්ඨෙය්‍ය, යෙ ආකාසනිස‍්සිතා පාණා තෙ නං ඛාදෙය්‍යුං. යඤ‍්ඤදෙව හි සා භික‍්ඛවෙ ගාවී නිච‍්චම‍්මා නිස‍්සාය තිට‍්ඨෙය්‍ය, යෙ තන‍්නිස‍්සිතා තන‍්නිස‍්සිතා පාණා තෙ නං ඛාදෙය්‍යුං. එවමෙව ඛ‍්වාහං භික‍්ඛවෙ, ඵස‍්සාහාරො දට‍්ඨබ‍්බොති වදාමි.

මහණෙනි, ස්පර්‍ශාහාරය කෙසේ දතයුත්තේ ද යත්: මහණෙනි, යම්සේ උදුළසම් ඇති දෙනක් ඉදින් බිත්තියක් ඇසුරු කොට සිටින්නී නම් බිත්තිය ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. ඉදින් රුකක් ඇසුරු කොට සිටින්නී නම් රුක ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. ඉදින් ජලයක් ඇසුරු කොට සිටින්නී නම් ජලය ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. ඉදින් අහස ඇසුරු කොට සිටින්නී නම් අහස ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. මහණෙනි, උදුළසම් ඇති ඒ දෙන යමක් යමක් ඇසුරු කොට සිටින්නී නම් ඒ ඇසුරු කළ යම් ප්‍රාණීහු වෙද්ද, ඔහු ඇය කන්නාහු ය. මහණෙනි, ස්පර්‍ශාහාරය මෙසෙයින් ම දතයුත්තේ යයි මම කියමි.

ඵස‍්සෙ භික‍්ඛවෙ, ආහාරෙ පරිඤ‍්ඤාතෙ තිස‍්සො වෙදනා පරිඤ‍්ඤාතා හොන‍්ති. තීසු වෙදනාසු පරිඤ‍්ඤාතාසු අරියසාවකස‍්ස නත්‍ථි කිඤ‍්චි උත‍්තරිං කරණීයන‍්ති වදාමි.

මහණෙනි, ස්පර්‍ශාහාරය පරිඥාත කල්හි වේදනාත්‍රය පරිඥාත වේ. වේදනාත්‍රය පරිඥාත කල්හි ආර්‍ය්‍යශ්‍රාවකයාහට මත්තෙහි කටයුතු කිසිවක් නැතැයි කියමි.

කථඤ‍්ච භික‍්ඛවෙ, මනොසඤ‍්චෙතනාහාරො දට‍්ඨබ‍්බො? සෙය්‍යථාපි භික‍්ඛවෙ, අඞ‍්ගාරකාසු සාධිකපොරිසා පුණ‍්ණා අඞ‍්ගාරානං වීතච‍්චිකානං වීතධූමානං. අථ පුරිසො ආගච‍්ඡෙය්‍ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක‍්ඛපටික‍්කූලො. තමෙනං ද‍්වෙ බලවන‍්තො පුරිසා නානාබාහාසු ගහෙත්‍වා තං අඞ‍්ගාරකාසුං උපකඩ‍්ඪෙය්‍යුං. අථ ඛො භික‍්ඛවෙ තස‍්ස පුරිසස‍්ස ආරකාවස‍්ස චෙතනා ආරකා පත්‍ථනා ආරකා පණිධි. තං කිස‍්ස හෙතු: විදිතං හි භික‍්ඛවෙ, තස‍්ස පුරිසස‍්ස හොති: ඉමඤ‍්චාහං අඞ‍්ගාරකාසුං පපතිස‍්සාමි, තතොනිදානං මරණං වා නිගච‍්ඡාමි, මරණමත‍්තං වා දුක‍්ඛන‍්ති. එවමෙව ඛ‍්වාහං භික‍්ඛවෙ මනොසඤ‍්චෙතනාහාරො දට‍්ඨබ‍්බොති වදාමි.

මහණෙනි, මනෝසඤ්චේතනාහාරය කෙසේ දත යුත්තේද යත්: මහණෙනි, යම්සේ පුරුෂප්‍රමාණයට අධික වූ පහ වූ ගිනිසිළු ඇති, පහ වූ දුම් ඇති, අඟුරෙන් පිරුණු අඟුරුවළක් වේ ද, එකල්හි ජීවත්වනු කැමැති නොමැරෙණු කැමැති සුව කැමැති දුකට පිළිකුල් කරණ පුරුෂයෙක් එන්නේ ය. බලවත් පුරුෂයෝ දෙදෙනෙක් ඒ මොහු වෙන වෙන අතින් ගෙන ඒ අඟුරුවළ කරා අදනාහු ය. මහණෙනි, එකල්හි ඒ පුරුෂයාගේ සිතිවිල්ල දුර ම වන්නේ ය. පැතුම දුර ම වන්නේ ය. අපේක්‍ෂාව දුර ම වන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, “මම මේ අඟුරුවළට වැටෙන්නෙම් නම් ඒ හේතුවෙන් මරණයට හෝ මරණය පමණ දුකට හෝ පැමිණෙන්නෙමි”යි ඒ පුරුෂයා විසින් දන්නා ලද්දේ ම වෙයි, එහෙයිනි. මහණෙනි, මනෝසඤ්චේතනාහාරය මෙසේ ම දතයුත්තේ යැ යි මම කියමි.

මනොසඤ‍්චෙතනාය භික‍්ඛවෙ, ආහාරෙ පරිඤ‍්ඤාතෙ තිස‍්සො තණ‍්හා පරිඤ‍්ඤාතා හොන‍්ති. තීසු තණ‍්හාසු පරිඤ‍්ඤාතාසු අරියසාවකස‍්ස නත්‍ථි කිඤ‍්චි උත‍්තරිං කරණීයන‍්ති වදාමි.

මහණෙනි, මනෝසඤ්චේතනාහාරය පරිඥාත කල්හි තෘෂ්ණාත්‍රය පරිඥාත වේ. තෘෂ්ණාත්‍රය පරිඥාත කල්හි ආර්‍ය්‍යශ්‍රාවකයාට මත්තෙහි කටයුතු කිසිවක් නැතැ යි කියමි.

කථඤ‍්ච භික‍්ඛවෙ, විඤ‍්ඤාණාහාරො දට‍්ඨබ‍්බො? සෙය්‍යථාපි භික‍්ඛවෙ චොරං ආගුචාරිං ගහෙත්‍වා රඤ‍්ඤො දස‍්සෙය්‍යුං, අයං තෙ දෙව චොරො ආගුචාරී, ඉමස‍්ස යං ඉච‍්ඡසි තං දණ‍්ඩං පණෙහීති. තමෙනං රාජා එවං වදෙය්‍ය: ගච‍්ඡථ, භො, ඉමං පුරිසං පුබ‍්බන‍්හසමයං සත‍්තිසතෙන හනථාති. තමෙනං පුබ‍්බන‍්හසමයං සත‍්තිසතෙන හනෙය්‍යුං. අථ රාජා මජ‍්ඣන‍්තිකං සමයං එවං වදෙය්‍ය: අම‍්භො කථං සො පුරිසොති. තථෙව දෙව ජීවතීති. තමෙනං රාජා එවං වදෙය්‍ය: ගච‍්ඡථ භො, තං පුරිසං මජ‍්ඣන‍්තිකසමයං සත‍්තිසතෙන හනථාති. තමෙනං මජ‍්ඣන‍්තිකසමයං සත‍්තිසතෙන හනෙය්‍යුං. අථ රාජා සායන‍්හසමයං එවං වදෙය්‍ය: අම‍්භො කථං සො පුරිසොති. තථෙව දෙව ජීවතීති. තමෙනං රාජා එවං වදෙය්‍ය: ගච‍්ඡථ භො තං පුරිසං සායන‍්හසමයං සත‍්තිසතෙන හනථාති. තමෙනං සායන‍්හසමයං සත‍්තිසතෙන හනෙය්‍යුං. තං කිං මඤ‍්ඤථ භික‍්ඛවෙ, අපි නු සො පුරිසො දිවසං තීහි සත‍්තිසතෙහි හඤ‍්ඤමානො තතොනිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයෙථාති. එකිස‍්සාපි භික‍්ඛවෙ, සත‍්තියා හඤ‍්ඤමානො තතො නිදානං දුක‍්ඛං දොමනස‍්සං පටිසංවෙදයෙථ. කො පන වාදො තීහි සත‍්තිසතෙහි හඤ‍්ඤමානොති. එවමෙව ඛ‍්වාහං භික‍්ඛවෙ, විඤ‍්ඤාණාහාරො දට‍්ඨබ‍්බොති වදාමි.

මහණෙනි, විඥානාහාරය කෙසේ දතයුත්තේ ද යත්: මහණෙනි, යම්සේ වරදකරු වූ සොරකු ගෙන “දේවයන් වහන්ස, මේ ඔබට වරද කරණ සොරෙකි. යමක් කැමැත්තෙහි නම් ඒ දඬුවම මොහුට පණවනු මැනැවැ”යි රජහට දක්වන්නාහු ද, රජ තෙමේ ඒ මොහුට “පින්වත්නි, යවු, පෙරවරු අඩයටි සියයකින් මේ පුරුෂයා පෙළවු”යි මෙසේ කියන්නේ ය. පෙරවරු අඩයටි සියයකින් ඒ මොහු පෙළන්නාහු ය. ඉක්බිති රජ තෙමේ මද්ද්දහනෙහි “එම්බල , ඒ පුරුෂ තෙමේ කෙසේ දැ”යි මෙසේ කියන්නේ ය. “දේවයන් වහන්ස, එසේ ම ජීවත් වේ”යයි. රජ තෙමේ, ඒ මොහුට “පින්වත්නි, යවු, මද්දහනෙහි අඩයටි සියයකින් මේ පුරුෂයා පෙළවු” ය යි මෙසේ කියන්නේ ය. ඒ මොහු මද්දහනෙහි අඩයටි සියයකින් පෙළන්නාහු ය. ඉක්බිති රජ තෙමේ සවස්හි “එම්බල , ඒ පුරුෂ තෙමේ කෙසේ දැ”යි මෙසේ කියන්නේ ය. “දේවයන් වහන්ස, එසේ ම වේ”යයි. රජ තෙමේ, ඒ මොහුට “එම්බල පින්වත්නි, යවු, සවස්හි ඒ පුරුෂයා අඩයටි සියයකින් පෙළවු” ය යි මෙසේ කියන්නේ ය. ඒ මොහු සවස්හි අඩයටි සියයකින් පෙළන්නාහු ය. මහණෙනි, ඒ කිමැයි හගිහු ද? ඒ පුරුෂ දවල් කාලයෙහි අඩයටි තුන්සියයකින් පෙළනු ලබන්නේ ඒ හේතුවෙන් දුකක් දොම්නසක් විඳින්නේ ද? යත්: මහණෙනි, එක් අඩයටියකිනුදු පෙළනු ලබන්නේ ඒ හේතු කොට දුකක් දොම්නසක් විඳින්නේ ය. අඩයටි තුන්සියයකින් පෙළනු ලබන්නේ කියනු ම කවරේ ද? මහණෙනි, විඥානාහාරය මෙසේ ම දතයුත්තේ ය යි මම කියමි.

විඤ‍්ඤාණෙ භික‍්ඛවෙ, ආහාරෙ පරිඤ‍්ඤාතෙ නාමරූපං පරිඤ‍්ඤාතං හොති. නාමරූපෙ පරිඤ‍්ඤාතෙ අරියසාවකස‍්ස නත්‍ථි කිඤ‍්චි උත‍්තරිං කරණීයන‍්ති වදාමීති.

මහණෙනි, විඥානාහාරය පරිඥාත කල්හි නාමරූප පරිඥාත වේ. නාමරූප පරිඥාත කල්හි ආර්‍ය්‍යශ්‍රාවකයාට මත්තෙහි කටයුතු කිසිවක් නැතැ යි කියමි.