යෙදුමෙන් කියවන්න

තිස‍්සසුත‍්තං

9. 1. 9.

9. 1. 9.

තිස‍්සසුත‍්තං

තිස්ස සූත්‍රය

403. සාවත්‍ථියං–

403. සැවැත්නුවර–

අථ ඛො ආයස‍්මා තිස‍්සො භගවතො පිතුච‍්ඡාපුත‍්තො යෙන භගවා තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා භගවන‍්තං අභිවාදෙත්‍වා එකමන‍්තං නිසීදි, දුක‍්ඛී දුම‍්මනො අස‍්සූනි පවත‍්තයමානො. අථ ඛො භගවා ආයස‍්මන‍්තං තිස‍්සං එතදවොච: කිං ත්‍වං තිස‍්ස, එකමන‍්තං නිසින‍්නො දුක‍්ඛී දුම‍්මනො අස‍්සූනි පවත‍්තයමානොති?

එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ නැන්දණියගේ පුත් වූ ආයුෂ්මත් තිස්ස ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ දුක් ඇත්තේ හටගත් දොම්නස් ඇත්තේ කඳුලු වගුරවමින් එකත්පසෙක හුන්නේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් තිස්සහට - තිස්ස, තෝ කුමක් හෙයින් දුක් ඇත්තෙහි හටගත් දොම්නස් ඇත්තෙහි කඳුලු වගුරුවමින් එකත්පසෙක හුන්නෙහි දැයි මෙය වදාළ සේක.

තථා හි පන මං භන‍්තෙ, භික‍්ඛූ සමන‍්තා වාචාසන‍්නිතොදකෙන සඤ‍්ජම‍්භරිං අකංසූති. තථා හි පන ත්‍වං තිස‍්ස, වත‍්තා නො ච වචනක‍්ඛමො, න ඛො තෙ තං තිස‍්ස පතිරූපං කුලපුත‍්තස‍්ස සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතස‍්ස, යං ත්‍වං වත‍්තා නො ච වචනක‍්ඛමො. එතං ඛො තෙ තිස‍්ස පතිරූපං කුලපුත‍්තස‍්ස සද‍්ධා අගාරස‍්මා අනගාරියං පබ‍්බජිතස‍්ස යං ත්‍වං වත‍්තා ච අස‍්සසි වචනක‍්ඛමො චාති. ඉදමවොච භගවා -පෙ- එතදවොච සත්‍ථා:

වහන්ස, එය එසේ මැයි: භික්‍ෂූහු වචනකෙවිටෙන් මට හාත්පස මතුමතුයෙහි විද්දාහු ය. තිස්ස, එය එසේ මැයි. තෝ (මෙරමාහට) කියන්නෙකි. මෙරමා වදන් නො ම ඉවසන්නෙකි. තිස්ස, යම්බඳු තෝ කියන්නෙක් වෙහි ද, මෙරමා වදන් නො ඉවසන්නෙක් වෙහි ද, සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිද්දට වන් කුලපුත්‍ර වූ තට එය නිසි නො වේ. තිස්ස, යම්බඳු තෝ කියන්නෙහිත් මෙරමා වදන් ඉවසන්නෙහිත් වන්නෙහි නම් සැදැහැයෙන් ගිහිගෙන් නික්ම පැවිදිවන් කුලපුත්‍ර වූ තට මෙය නිසි වේ මැ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙය ද වදාළ සේක:

කින‍්නු කුජ‍්ඣසි මා කුජ‍්ඣි අක‍්කොධො තිස‍්ස තෙ වරං,කොධමානමක‍්ඛවිනයත්‍ථං හි තිස‍්ස බ්‍රහ‍්මචරියං වුස‍්සතීති.

කුමක් හෙයින් කිපෙහි ද? නො කිපෙව. තිස්ස, තට නො කිපීම උතුමි. තිස්ස ක්‍රෝධය ,මානය, මකුගුණය දුරු කිරීම පිණිස ම බඹසර වෙසේ යි.