භාර සුත‍්තං
1. 1. 3. 1.
1. 1. 3. 1.
භාර සුත‍්තං
භාර සූත්‍රය
22. සාවත්‍ථියං–
22. සැවැත්නුවර–
භාරඤ‍්ච වො භික‍්ඛවෙ දෙසිස‍්සාමි භාරහාරඤ‍්ච, භාරාදානඤ‍්ච, භාරනික‍්ඛෙපනඤ‍්ච. තං සුණාථ -පෙ- එතදවොච:
මහණෙනි, තොපට භාරය ද දෙසමි. භාරහාරය හා භාරාදානය හා භාරනික්ඛේපය හා දෙසමි. එය අසව … තෙල වදාළහ.
කතමො ච භික‍්ඛවෙ භාරො: පඤ‍්චුපාදානක‍්ඛන්‍ධාතිස‍්ස වචනීයං. කතමෙ පඤ‍්ච: රූපූපාදානක‍්ඛන්‍ධො, වෙදනූපාදානක‍්ඛන්‍ධො, සඤ‍්ඤූපාදානක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරුපාදානක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො. අයං වුච‍්චති භික‍්ඛවෙ භාරො.
මහණෙනි, “භාර” නම් කවරේ යත්: පඤ්ච උපාදාන ස්කන්‍ධහ’යි කියයුතු වෙයි. කවර පසෙක: ඒ මෙසේ යැ: රූපෝපාදානස්කන්‍ධය යැ, වේදනෝපාදානස්කන්‍ධය යැ, සංඥෝපාදානස්කන්‍ධය යැ, සංස්කාරෝපාදානස්කන්‍ධය යැ, විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ භාරයැ යි කියනු ලැබෙයි.
කතමො ච භික‍්ඛවෙ භාරහාරො: පුග‍්ගලොතිස‍්ස වචනීයං, යො’යං ආයස‍්මා එවන‍්නාමො එවංගොත‍්තො, අයං වුච‍්චති භික‍්ඛවෙ, භාරහාරො.
මහණෙනි, “භාරහාර” නම් කවරෙ යත්: පුද්ගල යයි කිය යුතු වෙයි. මෙබඳු නම් ඇති, මෙබඳු ගෝත්‍ර ඇති, යම් ආයුෂ්මත් කෙනෙක් ඇත් ද, මහණෙනි, මේ “භාරහාර” යයි කියනු ලැබෙයි.
කතමඤ‍්ච භික‍්ඛවෙ භාරාදානං: යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍රතත්‍රාභිනන්‍දිනී සෙය්‍යථිදං: කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හා. ඉදං වුච‍්චති භික‍්ඛවෙ භාරාදානං.
මහණෙනි, “භාරදාන” නම් කවරෙ යත්: පුනර්‍භවය පිණිස පවත්නා නන්‍දිරාග සහගත වූ රූපාදි ඒ ඒ අරමුණෙහි අභිනන්‍දන ස්වභාව ඇති යම් මෙ තෘෂ්ණායෙක් ඇත් ද, ඒ කෙසේ ද යත්: කාමතෘෂ්ණා යැ, භවතෘෂ්ණා යැ, විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ “භාරදාන” යි කියනු ලැබෙයි.
කතමඤ‍්ච භික‍්ඛවෙ භාරනික‍්ඛෙපනං: යො තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො. ඉදං වුච‍්චති භික‍්ඛවෙ භාරනික‍්ඛෙපනන‍්ති.
මහණෙනි, “භාරනික්ඛේප” නම් කවරෙ යත්, ඒ තෘෂ්ණාවගේ මැ යම් අශේෂ විරාගනිරොධයෙක්, පරිත්‍යාගයෙක්, හැරැපීමෙක්, බිඳීමෙක්, නො ඇල්මෙක් ඇත් ද, මහණෙනි, මෙ “භාරනික්ඛේප” යි කියනු ලැබේ.
ඉදමවොච භගවා. ඉදං වත්‍වා සුගතො අථාපරං එතදවොච සත්‍ථා:
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. සුගතයන් වහන්සේ මෙය වදාරා ශාස්තෘ වූ බුදුහු යළිදු අන්‍ය වූ තෙල ගාථා ද වදාළ සේකි.
1. භාරා හවෙ පඤ‍්චක‍්ඛන්‍ධා භාරහාරො ච පුග‍්ගලො, භාරාදානං දුඛං ලොකෙ භාරනික‍්ඛෙපනං සුඛං.
1. පඤ්චස්කන්‍ධයෝ එකැතින් භාරයහ. වැළි පුද්ගල භාරහාර වෙයි, ලෝකයෙහි භාරාදානය (භාරග්‍රහණය) දුක්වෙයි, භාරනික්ඛේපය සුඛ වෙයි.
2. නික‍්ඛිපිත්‍වා ගරුං භාරං අඤ‍්ඤං භාරං අනාදිය, සමූලං තණ‍්හං අබ‍්බුය‍්හ නිච‍්ඡාතො පරිනිබ‍්බුතො.
2. ගුරුබර බහා තබා අන්බරක් නො ගෙන අවිද්‍යා මූල සහිත තෘෂ්ණාව උදුරා නිස්තෘෂ්ණ වූයේ පිරිනිවියේ නම් වේ.