යෙදුමෙන් කියවන්න

චින‍්තාසුත‍්තං

12. 5. 1.

12. 5. 1.

චින‍්තාසුත‍්තං

චින්තා සූත්‍රය

3883. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්‍දකනිවාපෙ. තත්‍ර ඛො භගවා භික‍්ඛූ ආමන‍්තෙසි. භූතපුබ‍්බං භික‍්ඛවෙ, අඤ‍්ඤතරො පුරිසො රාජගහා නික‍්ඛමිත්‍වා ලොකචින‍්තං චින‍්තෙස‍්සාමීති යෙන සුමාගවා පොක‍්ඛරණී තෙනුපසංකමි. උපසංකමිත්‍වා සුමාගවාය පොක‍්ඛරණියා තීරෙ නිසීදි. ලොකචින‍්තං චින‍්තෙන‍්තො. අද‍්දසා ඛො භික‍්ඛවෙ, සො පුරිසො සුමාගවාය පොක‍්ඛරණියා චතුරඞ‍්ගිනිං සෙනං භිසමුළාලං පවිසන‍්තිං. දිස‍්වානස‍්ස එතදහොසි. උම‍්මත‍්තො’ස‍්මි නාමාහං, විචෙතොස‍්මි නාමාහං. යං ලොකෙ නත්‍ථි තං මයා දිට‍්ඨන‍්ති.

3883. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, පෙර වූවක් කියමි. එක්තරා පුරුෂයෙක් රජගහගහනුවරින් නික්ම ලෝ සිතිවිලි සිතන්නෙමි” යි සුමාගවා නම් පොකුණ වෙත එළඹියේ ය. එළඹ ලෝසිතිවිලි සිතමින් සුමාගවා පොකුණු තෙර හුන්නේ ය. මහණෙනි, ඒ පුරිස් තෙමේ සුමාගවා පොකුණෙහි නෙළුඹුදැලි තුළට පිවිසෙන සිවුරඟ සෙනඟක් දුටුයේ ය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය: “ලොව යමක් නැත් නම් එය මවිසින් දක්නා ලදී. මම නම් උමතුවෙක්මි, මම නම් පහවූ සිතිවිලි ඇත්තෙක්මි” යි.

අථ ඛො සො භික‍්ඛවෙ, සො පුරිසො රාජගහං පවිසිත්‍වා මහාජනකායස‍්ස ආරොචෙසි. උම‍්මත‍්තො’ස‍්මි නාමාහං භන‍්තෙ, විචෙතොස‍්මි නාමාහං භන‍්තෙ. යං ලොකෙ නත්‍ථි තං මයා දිට‍්ඨන‍්ති. යථා කථම‍්පන ත්‍වං අම‍්භො පුරිස, උම‍්මත‍්තො කථං විචෙතො කිඤ‍්ච ලොකෙ නත්‍ථි යං තයා දිට‍්ඨන‍්ති. ඉධාහං භන‍්තෙ රාජගහා නික‍්ඛමිත්‍වා ලොකචින‍්තං චින‍්තෙස‍්සාමීති යෙන සුමාගවා පොක‍්ඛරණී තෙනුපසංකමිං. උපසංකමිත්‍වා සුමාගවාය පොක‍්ඛරණියා තීරෙ නිසීදිං ලොකචින‍්තං චින‍්තෙන‍්තො. අද‍්දසං ඛ‍්වාහං භන‍්තෙ, සුමාගවාය පොක‍්ඛරණියා චතුරඞ‍්ගිනිං සෙනං භිසමුළාලං පවිසන‍්තිං. එවං ඛ‍්වාහං භන‍්තෙ, උම‍්මත‍්තො. එවං විචෙතො. ඉදඤ‍්ච ලොකෙ නත්‍ථි යං මයා දිට‍්ඨන‍්ති. තග‍්ඝ ත්‍වං අම‍්භො පුරිස උම‍්මත‍්තො, තග‍්ඝ විචෙතො. ඉදඤ‍්ච ලොකෙ නත්‍ථි යං තයා දිට‍්ඨන‍්ති. තං ඛො පන භික‍්ඛවෙ, සො පුරිසො භූතං යෙව අද‍්දස, නො අභූතං.

මහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ රජගහනුවරට පිවිස: හිමියනි, ලොව යමක් නැත් නම් එය මවිසින් දක්නා ලදී. මම නම් උමතුවෙක්මි. හිමියනි, මම නම් පහ වූ සිතිවිලි ඇත්තෙක්මි” යි මහදනමුළුවට සැලකෙළේ ය. එම්බා පුරුෂය ඒ කෙසේ නම් තෝ උමතුවෙක් වෙහි ද? කෙසේ පහ වූ සිතිවිලි ඇත්තෙක් වෙහි ද? ලොව නැති කිමෙක් තා විසින් දක්නා ලද දැ යි? හිමියනි, “මෙහි මම රජගහනුවරින් නික්ම “ලෝසිතිවිලි සිතන්නෙමි” යි “සුමාගවා” පොකුණ වෙත එළඹියෙමි. එළඹ “සුමාගවා” පොකුණු තෙර ලෝසිතිවිලි සිතමින් හුන්නෙමි. හිමියනි, මම සුමාගවා පොකුණෙහි නෙළුඹුදැලි තුළට පිවිසෙන සිවුරඟ සෙනග දිටිමි. හිමියනි, මෙසේ මම උමතුවෙක්මි. මෙසේ පහ ව ගිය සිතිවිලි ඇත්තෙක්මි ලොව නැති මෙ ද මා විසින් දක්නා ලදැ”යි, එම්බා පුරුෂය, තෝ ඒකාන්තයෙන් උමතුවෙකි, ඒකාන්තයෙන් පහ ව ගිය සිතිවිලි ඇත්තෙකි. ලොව නැති මෙ ද තා විසින් දක්නා ලදැ යි. මහණෙනි, ඒ පුරිස් තෙමේ ඒ වූවක් ම දිටි. නුවූවෙක් නො වේ.

භූතපුබ‍්බං භික‍්ඛවෙ, දෙවාසුරසඞ‍්ගාමො සමුපබ‍්බූළ‍්හො අහොසි. තස‍්මිං ඛො පන භික‍්ඛවෙ, සඞ‍්ගාමෙ දෙවා ජිනිංසු, අසුරා පරාජිනිංසු. පරාජිතා ච ඛො භික‍්ඛවෙ, අසුරා භීතා භිසමුළාලෙන අසුරපුරං පවිසිංසු. දෙවානං යෙව මොහයමානා තස‍්මාතිහ භික‍්ඛවෙ, මා ලොකචින‍්තං චින‍්තෙථ සස‍්සතො ලොකොති වා අසස‍්සතො ලොකොති වා, අන‍්තවා ලොකොති වා අනන‍්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන‍්ති වා අඤ‍්ඤං ජීවං අඤ‍්ඤං සරීරන‍්ති වා, හොති තථාගතො පරම‍්මරණාති වා න හොති තථාගතො පරම‍්මරණාති වා හොති ච න ච හොති තථාගතො පරම‍්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම‍්මරණාති වා. තං කිස‍්ස හෙතු: නෙසා භික‍්ඛවෙ, චින‍්තා අත්‍ථසංහිතා නාදිබ්‍රහ‍්මචරියකා, න නිබ‍්බිදාය, න විරාගාය, න නිරොධාය, න උපසමාය, න අභිඤ‍්ඤාය, න සම‍්බොධාය, න නිබ‍්බානාය සංවත‍්තති.

මහණෙනි, පෙර වූවක් කියමි: දෙවියන් හා අසුරයන් අතර යුදධක් එළඹ සිටියේ විය. මහණෙනි, ඒ යුද්ධයෙහි දී දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුණහ. මහණෙනි, පැරදුණු අසුරයෝ බියපත් වූවාහු දෙවියන්ගේ සිත් මුළා කරවමින් ම නෙළුඹුදැලියෙන් අසුර පුරයට පිවිසියහ. මහණෙනි, එහෙයින් මෙහි ලා “ලෝකය ශාශ්වත ය” යි හෝ “ලෝකය අශාශ්වත ය” යි හෝ “ලෝකය අන්තවත් ය” යි හෝ “ලෝකය අනන්තවත් ය” යි හෝ “එය ජීවය එය ශරීරය” යි හෝ “ජීවය අනෙකක ශරීරය අනෙකකැ” යි හෝ “සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ” යි හෝ “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ” යි. ලෝ සිතිවිලි නහමක් සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිලි වැඩ සහිත නො වේ. මගබඹසරට මුල් නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී නිරෝධය පිණිස නො පවතී ව්‍යූපශමය පිණිස නො පවතී අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී නිර්‍වාණය පිණිස නො පවතී.

චින‍්තෙන‍්තා ඛො තුම‍්හෙ භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛ”න‍්ති චින‍්තෙය්‍යාථ, “අයං දුක‍්ඛසමුදයො”ති චින‍්තෙය්‍යාථ, “අයං දුක‍්ඛනිරොධො”ති චින‍්තෙය්‍යාථ, “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති චින‍්තෙය්‍යාථ. තං කිස‍්ස හෙතු: එසා භික‍්ඛවෙ, චින‍්තා අත්‍ථසංහිතා එසා ආදිබ්‍රහ‍්මචරියකා, එසා නිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. තස‍්මාතිහ භික‍්ඛවෙ, “ඉදං දුක‍්ඛ”න‍්ති යොගො කරණීයො -පෙ- “අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.

මහණෙනි, තෙපි සිතන්නහු නම් “මේ දුකැ” යි සිතවු. “මේ දුක් හටගැනුමැ”යි සිතවු. “මේ දුක් වැළැක්මැ”යි සිතවු. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිල්ල වැඩදායක ය. මේ මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සමෙබාධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.