යෙදුමෙන් කියවන්න

පඤ‍්හව්‍යාකරණ සුත‍්තං

සම්පූර්ණ පරිච්ඡේදය

4. 1. 5. 2.

4. 1. 5. 2.

[පඤ‍්හව්‍යාකරණ සුත‍්තං]

[පඤ්හබ්‍යාකරණ සූත්‍රය]

42. චත‍්තාරිමානි භික‍්ඛවෙ, පඤ‍්හව්‍යාකරණානි කතමානි චත‍්තාරි:

42. මහණෙනි, මේ ප්‍රශ්නව්‍යාකරණයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්:

අත්‍ථි භික‍්ඛවෙ, පඤ‍්හො එකංසව්‍යාකරණීයො, අත්‍ථි භික‍්ඛවෙ, පඤ‍්හො විභජ‍්ජ ව්‍යාකරණීයො, අත්‍ථි භික‍්ඛවෙ, පඤ‍්හො පටිපුච‍්ඡා ව්‍යාකරණීයො, අත්‍ථි භික‍්ඛවෙ, පඤ‍්හො ඨපනීයො.

මහණෙනි, ඒකාන්තයෙන් විසඳියයුතු ප්‍රශ්නයෙක් ඇත. මහණෙනි, බෙදා විසඳිය යුතු ප්‍රශ්නයෙක් ඇත. මහණෙනි, පිළිවිස විසඳිය යුතු ප්‍රශ්නයෙක් ඇත. මහණෙනි, තබාලිය යුතු ප්‍රශ්නයෙක් ඇත.

ඉමානි ඛො භික‍්ඛවෙ, චත‍්තාරි පඤ‍්හව්‍යාකරණානීති.

මහණෙනි, මේ සතර ප්‍රශ්නව්‍යාකරණයෝ යි.

105. එකංසවචනං එකං විභජ‍්ජවචනාපරං, තතියං පටිපුච‍්ඡෙය්‍ය චතුත්‍ථං පන ඨාපයෙ.

105. එක් පැණෙක් ඒකාන්තවචන යි. අනෙක විභජ්‍යවචන යි. තෙවැන්න පුළුවුස්නේ ය. සිවුවැන්න තබන්නේය.

106. යො ච නෙසං තත්‍ථ තත්‍ථ ජානාති අනුධම‍්මතං, චතුපඤ‍්හස‍්ස කුසලො ආහු භික‍්ඛුං තථාවිධං.

106. යමෙක් ඒ ප්‍රශ්නයන් අතුරෙන් ඒ ඒ තැන අනුධර්‍මතා සඞ්ඛ්‍යාත විසඳීම දන්නේ ද, එබඳු මහණ සතර පැණ පිළිබඳව දක්‍ෂයෙකැයි කියත්.

107. දුරාසදො දුප‍්පසහො ගම‍්භීරො දුප‍්පධංසියො අථො අත්‍ථෙ අනත්‍ථෙ ච උභයස‍්ස හොති කොවිදො.

107. නොලංවියහෙන, නොමැඩලියහෙන, ගැඹුරු නොමුදවාලියහෙන වැලිත් දෙවැදෑරුම් අර්‍ත්‍ථානර්‍ත්‍ථයෙහි දක්‍ෂ වූ,

108. අනත්‍ථං පරිවජ‍්ජෙති අත්‍ථං ගණ‍්හාති පණ‍්ඩිතො, අත්‍ථාභිසමයා ධීරො පණ‍්ඩිතොති පවුච‍්චතීති.

108. පණ්ඩිත මහණ අනර්‍ත්‍ථය හරණේ ය. අර්‍ත්‍ථය ගන්නේ ය. අර්‍ත්‍ථ සමාගමයෙන් ධීර වූ ඒ මහණ පණ්ඩිතය යි කියනු ලැබේ.

4. 1. 5. 3.

4. 1. 5. 3.

[පඨමකොධගරුසුත‍්තං]

[පඨම කෝධගරු සූත්‍රය]

43. චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො:

43. මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:

කොධගරු න සද‍්ධම‍්මගරු, මක‍්ඛගරු න සද‍්ධම‍්මගරු, ලාභගරු න සද‍්ධම‍්මගරු, සක‍්කාරගරු න සද‍්ධම‍්මගරු.

සද්ධර්‍මගරුක නොවන ක්‍රෝධගරුකය, සද්ධර්‍මගරුක නොවන මක්ඛගරුකය, සද්ධර්‍මගරුක නොවන ලාභගරුකය, සද්ධර්‍මගරුක නොවන සත්කාරගරුක යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං.

මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්‍යමානයහ.

චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මිං. කතමෙ චත‍්තාරො:

මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්‍යමානයහ. කවර සතර කෙනෙක යත්:

සද‍්ධම‍්මගරු න කොධගරු, සද‍්ධම‍්මගරු න මක‍්ඛගරු, සද‍්ධම‍්මගරු න ලාභගරු, සද‍්ධම‍්මගරු න සක‍්කාරගරු.

ක්‍රෝධගරුක නොවන සද්ධර්‍මගරුකය, මක්ඛගරුක නොවන සද්ධර්‍මගරුකය, ලාභගරුක නොවන සද්ධර්‍මගරුකය, සත්කාරගරුක නොවන සද්ධර්‍මගරුක යි.

ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො පුග‍්ගලා සන‍්තො සංවිජ‍්ජමානා ලොකස‍්මින‍්ති.

මහණෙනි, ලෝකයෙහි මේ සතර පුද්ගල කෙනෙක් විද්‍යමානයහ.

109. කොධමක‍්ඛගරූ භික‍්ඛූ ලාභසක‍්කාරගාරවා, න තෙ ධම‍්මෙ විරූහන‍්ති සම‍්මාසම‍්බුද‍්ධදෙසිතෙ.

109. ලාභසත්කාර කෙරෙහි ගෞරව ඇති ක්‍රෝධය හා ගුණමකු බව ගරු කොට ඇති මහණ කෙනෙක් ඇද්ද, ඔහු සම්මාසම්බුදුරජුන් දෙසූ සද්ධර්‍මයෙහි නො වැඩෙත්.

110. යෙ ච සද‍්ධම‍්මගරුනො විහංසු විහරන‍්ති ච, තෙ වෙ ධම‍්මෙ විරූහන‍්ති සම‍්මාසම‍්බුද‍්ධදෙසිතෙති.

110. සද්ධර්‍මගරුක වූ යම් භික්‍ෂු කෙනෙක් පෙර විසූහු ද, දැන් වෙසෙත් ද, ඔහු ඒකාන්තයෙන් සම්මාසම්බුදුන් දෙසූ දහමෙහි වැඩෙත්.

4. 1. 5. 4.

4. 1. 5. 4.

[දුතියකොධගරුසුත‍්තං]

[දුතිය කෝධගරු සූත්‍රය]

44. චත‍්තාරොමෙ භික‍්ඛවෙ, අසද‍්ධම‍්මා. කතමෙ චත‍්තාරො?

44. මහණෙනි, මේ අසද්ධර්‍මයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:

කොධගරුතා න සද‍්ධම‍්මගරුතා, මක‍්ඛගරුතා න සද‍්ධම‍්මගරුතා, ලාභගරුතා න සද‍්ධම‍්මගරුතා, සක‍්කාරගරුතා න සද‍්ධම‍්මගරුතා.

ක්‍රෝධයෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත. ගුණ මැකීමෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත. ලාභයෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත. සත්කාරයෙහි සගෞරව බව ඇත, සද්ධර්‍මයෙහි සගෞරව බව නැත.

ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො අසද‍්ධම‍්මා.

මහණෙනි, මේ සතර අසද්ධර්‍මයෝය.

චත‍්තාරො’මෙ භික‍්ඛවෙ, සද‍්ධම‍්මා. කතමෙ චත‍්තාරො?

මහණෙනි, මේ සද්ධර්‍මයෝ සතර දෙනෙක. කවර සතර දෙනෙක යත්:

සද‍්ධම‍්මගරුතා න කොධගරුතා, සද‍්ධම‍්මගරුතා න මක‍්ඛගරුතා, සද‍්ධම‍්මගරුතා න ලාභගරුතා, සද‍්ධම‍්මගරුතා න සක‍්කාරගරුතා.

සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, ක්‍රෝධයෙහි සගෞරව බව නැත. සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, මකුගුණෙහි සගෞරව බව නැත. සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, ලාභයෙහි සගෞරව බව නැත. සද්ධර්‍මයෙහි සගෞරව බව ඇත, සත්කාරයෙහි සගෞරව බව නැත.

ඉමෙ ඛො භික‍්ඛවෙ, චත‍්තාරො සද‍්ධම‍්මාති.

මහණෙනි, මේ සතර සද්ධර්‍මයෝය.

111. කොධමක‍්ඛගරු භික‍්ඛු ලාභසක‍්කාරගාරවො, සුඛෙත‍්තෙ පූතිබීජංව සද‍්ධම‍්මෙ න විරූහති.

111. ලාභසත්කාරයෙහි ගෞරවය ඇති ක්‍රෝධයෙහි හා ගුණමකු බවෙහි ගෞරවය ඇති මහණෙක් වේ ද, මනා කෙතෙක පූතිබීජයක් මෙන් සද්ධර්‍මශාසනයෙහි නො වැඩෙයි.

112. යෙ ච සද‍්ධම‍්මගරුනො විහංසු විහරන‍්ති ච, තෙ වෙ ධම‍්මෙ විරූහන‍්ති ස‍්නෙහමන්‍වායමිවොසධාති.

112. සද්ධර්‍මය ගරු කොට ඇති යම් පැවිදි කෙනෙක් පෙර විසූහු ද, දැන් වෙසෙත් ද, ඒකාන්තයෙන් ඔහු ඖෂධජාතීහු පෘථිවීස්නේහය ලැබ වැඩෙත් ද, එපරිද්දෙන් සද්ධර්‍මයෙහි වැඩෙත්.