යෙදුමෙන් කියවන්න

පාරාසරියත්‍ථෙරගාථා

20. 1. 10.

20. 1. 10.

920. සමණස‍්ස අහු චින‍්තා පුප‍්ඵිතම‍්හි මහාවනෙ, එකග‍්ගස‍්ස නිසින‍්නස‍්ස පවිවිත‍්තස‍්ස ඣායිනො.

920. මහ (සල්) වනය පිපීසිටි කල්හි (එහි) හුන් එකඟ වූ සිත් ඇති ප්‍රකර්‍ෂවිවේක ඇති ධ්‍යාන කරනසුලු වූ (පාරාසරිය) මහණහට චින්තාවක (සිතිවිල්ලෙක්) වූ ය.

921. අඤ‍්ඤථා ලොකනාථම‍්හි තිට‍්ඨන‍්තෙ පුරිසුත‍්තමෙ, ඉරියං ආසි භික‍්ඛූනං අඤ‍්ඤථා දානි දිස‍්සති.

921. පුරුෂෝත්තම වූ ලෝහිමියන් සිටුනා කල්හි භික්‍ෂූන්ගේ පැවැත්ම අන් අයුරු (වෙනස්) වී යැ. දැන් අන් අයුරින් දක්නාලැබේ.

922. සීථවාතපරිත‍්තානං හිරිකොපීනඡාදනං, මත‍්තත්‍ථියං අභුඤ‍්ජිංසු සන‍්තුට‍්ඨා ඉතරීතරෙ.

922. ඉතරීතර ප්‍රත්‍යයෙහි සන්තුෂ්ට වූවාහු ශීතවාතයෙන් රැක්ම හිරිකෝප්‍යස්ථාන වැස්ම පමණක් ප්‍රයෝජන කොට සිවුරු වැළඳූහ.

923. පණීතං යදි වා ලූඛං අප‍්පං වා යදි වා බහුං, යාපනත්‍ථං අභුඤ‍්ජිංසු අගිද‍්ධා නාධිමුච‍්ඡිතා.

923. ඉදින් පිණී වූ හෝ රළු වූ හෝ මඳ වූ හෝ බොහෝ වූ හෝ බොදුන් ගිජු නො වූවාහු නො බැඳුණාහු යාපනය පිණිස වැළදූහ.

924. ජීවිතානං පරික‍්ඛාරෙ භෙසජ‍්ජෙ අථ පච‍්චයෙ, න බාළ‍්හං උස‍්සුකා ආසුං යථා තෙ ආසවක‍්ඛයෙ.

924. ඔහු දිවිපැවැත්මට කරුණු වූ බෙහෙත් පසයෙහි ආස්‍රවක්‍ෂයෙහි තරම් දැඩි උසා ඇතියෝ නො වූහ.

925. අරඤ‍්ඤෙ රුක‍්ඛමූලෙසු කන්‍දරාසු ගුහාසු ච, විවෙකමනුබ්‍රූහෙන‍්තා විහංසු තප‍්පරායනා.

925. අරණ්‍යයෙහි රුක්මුල්හි කඳුරුවල හා ගුහාවල විවේකය වඩන්නාහු විවේකයෙහි නම්න වැ විසූහ.

926. නීචා නිවිට‍්ඨා සුභරා මුදූ අත්‍ථද‍්ධමානසා, අබ්‍යාසෙකා අමුඛරා අත්‍ථචින‍්තාවසානුගා.

926. යටත් පැවැතුම් ඇත්තාහු සසුන්හි වැදැගත්තාහු සුහර වූවාහු මොළොක් වූවාහු නො දැඩිසිත් ඇත්තාහු කෙලෙස් වැගිරීම් නැත්තාහු මුඛර නො වූවාහු අර්‍ත්‍ථචින්තාවශයට ගියාහු යි.

927. තතො පාසාදිකං ආසි ගතං භුත‍්තං නිසෙවිතං, සිනිද‍්ධා තෙලධාරා’ව අහොසි ඉරියාපථො.

927. එහෙයින් ගමන, බොදුන, ඇසුර ප්‍රසාදික වී යැ ඉරියව්ව තෙල්දහරක් මෙන් සිනිඳු වී.

928. සබ‍්බාසවපරික‍්ඛීණා මහාඣායී මහාහිතා, නිබ‍්බුතා දානි තෙ ථෙරා පරිත‍්තා දානි තාදිසා.

928. සියලු ආස්‍රවයන් ක්‍ෂය කළා වූ මහත් - ධ්‍යායී වූ මහත් හිතයන් වූ ඒ තෙරවරු දැන් පිරිනිවියහ, එබන්දෝ දැන් අල්පයහ.

929. කුසලානං ච ධම‍්මානං පඤ‍්ඤාය ච පරික‍්ඛයා, සබ‍්බාකාරවරූපෙතං ලුජ‍්ජතෙ ජිනසාසනං.

929. කුශලධර්‍මයන් හා ප්‍රඥාව ගේ අභාව හෙයින් (ආදිකාල්‍යාණතාදි) සියලු ආකාරයෙන් යුක්ත වූ ජිනශාසනය වැනැසේ.

930. පාපකානං ච ධම‍්මානං කිලෙසානං ච යො උතු, උපට‍්ඨිතා විවෙකාය යෙ ච සද‍්ධම‍්මසෙසකා.

930. පාපධර්‍මයන්ට ද ක්ලේශයන්ට ද මේ කාලය යි. යම් කෙනෙක් විවේකයට එළඹියාහු නම් ඔහු ද සද්ධර්‍මශේෂක වෙත්. (ප්‍රතිපත්තිය මිස ලොවුතුරු දහම් පල ගන්වන්නට නො සමත් බව කී සේ යි.)

931. තෙ කිලෙසා පවඩ‍්ඪන‍්තා ආවිසන‍්ති බහුං ජනං, කීළන‍්ති මඤ‍්ඤෙ බාලෙහි උම‍්මත‍්තෙහි ව රක‍්ඛසා.

931. ඒ ක්ලේශයෝ වැඩෙමින් බොහෝ දෙනාට අවුසිත් (ආවිෂ්ට වෙත්). උමතුවන් සමඟ රකුසන් මෙන් බාලයන් සමඟ කෙළිතී සිතම්.

932. කිලෙසෙහාභිභූතා තෙ තෙන තෙන විධාවිතා, නරා කිලෙසවත්‍ථූසු සසඞ‍්ගාමෙව ඝොසිතෙ.

932. සඞ්ග්‍රාමභූමියෙහි (සෙන්පතිහු විසින්) අණ කළ කල්හි සෙයින් කෙලෙසුන් විසින් අභිභවනය කරනලද ඒ මිනිස්සු ක්ලේශවස්තූන්හි ඒ ඒ අරමුණු විසින් දුවවනලද්දාහු -

933. පරිච‍්චජිත්‍වා සද‍්ධම‍්මං අඤ‍්ඤමඤ‍්ඤෙහි භණ‍්ඩරෙ, දිට‍්ඨිගතානි අන්‍වෙන‍්තා ඉදං සෙය්‍යොති මඤ‍්ඤරෙ.

933. සද්ධර්‍මය හැරදමා ඔවුනොවුන් සමඟ කලහ කෙරෙත්, මිථ්‍යාදෘෂ්ටීන් අනුගමනය කරන්නාහු මේ මැ ශ්‍රේෂ්ඨ යැ යි සිතත්.

934. ධනං ච පුත‍්තං භරියං ච ඡඩ‍්ඩයිත්‍වාන නිග‍්ගතා, කටච‍්ඡුභික‍්ඛාහෙතූ අකිච‍්චානි නිසෙවරෙ.

934. ධනයත් අඹුදරුවනුත් හැරැදමා ගිහිගෙන් නික්මුණාහු ළුවක් අහර හේතුවිනුදු නො කටයුතු කෙරෙත්.

935. උදරාවදෙහකං භුත්‍වා සයන‍්තුත‍්තානසෙය්‍යකා, කථා වඩ‍්ඪෙන‍්ති පටිබුද‍්ධා යා කථා සත්‍ථුගරහිතා.

935. කුස පුරා වළඳා උඩුකුරු වැ හොවිත්. පිබිදුණාහු යම් කථාවක් ශාස්තෲන් විසින් ගරහනලද නම් ඒ කථා පෝෂණය කෙරෙත්.

936. සබ‍්බකාරුකසිප‍්පානි චිත‍්තීකත්‍වාන සික‍්ඛරෙ, අවූපසන‍්තා අජ‍්ඣත‍්තං සාමඤ‍්ඤත්‍ථො’ති අච‍්ඡති.

936. නො සන්හුන් සිත් ඇත්තාහු සියලු කාර්මිකශිල්පයන් ආදරය කොට උන්නේ, ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය වෙන් වැ පවතී.

937. මත‍්තිකං තෙලං චුණ‍්ණං ච උදකාසනභොජනං, ගිහීනං උපනාමෙන‍්ති ආකඞ‍්ඛන‍්තා බහුත‍්තරං.

937. මතුයෙහි බොහෝ (ලාභ) කැමැත්තාහු මැටි, තෙල්, නහනසුණු, දිය, අසුන් හා බොජුන් ද ගිහීනට පිරිනමත්.

938. දන‍්තපොනං කපිත්‍ථං ච පුප‍්ඵං ඛාදනියානි ච, පිණ‍්ඩපාතෙ ච සම‍්පන‍්නෙ අම‍්බෙ ආමලකානි ච.

938. දැහැටි ද දිවුල්පල ද මල් ද කැවිලි ආදිය ද සූපයෙන් යුත් පිඬුවා ද අඹපල ද ඇඹුළුපල ද (ගිහීනට පිරිනමත්).

939. භෙසජ‍්ජෙසු යථා වෙජ‍්ජා කිච‍්චාකිච‍්චෙ යථා ගිහී, ගණිකා’ව විභූසායං ඉස‍්සරෙ ඛත‍්තියා යථා.

939. (ගිහීනට) බෙහෙත් කිරීමෙහි වෙදකු වැන්න, කුදුමහකටයුත්තෙහි ගිහියකු වැන්න. සිරුරු සැරැසීමෙහි ගණිකාවක වැන්න, ඓශ්චර්‍ය්‍යයෙහි ක්‍ෂත්‍රියයකු වැන්න.

940. නෙකතිකා වඤ‍්චනිකා කූටසක‍්ඛි අපාටුකා, බහූහි පරිකප‍්පෙහි ආමිසං පරිභුඤ‍්ජරෙ.

940. ශඨ බැව්හි නියුක්ත වූවාහු කපට ක්‍රියායෙහි නියුක්ත වූවාහු බොරු සාක්‍ෂ්‍ය කියනසුලු වූවාහු අසංයම පැවැතුම් ඇත්තාහු බොහෝ වූ මිථ්‍යාජීවයන්ගෙන් ආමිස වළඳත්.

941. ලෙසකප‍්පෙ පරියායෙ පරිකප‍්පෙනුධාවිතා, ජීවිකත්‍ථා උපායෙන සඞ‍්කඩ‍්ඪන‍්ති බහුං ධනං.

941. කප්පියප්‍රතිරූපක වූ පර්‍ය්‍යායයෝග ඇති කැපයෙහි දිවගිය ජීවිකාර්‍ත්‍ථ ඇත්තෝ (ප්‍රත්‍යය උපදවන) උපායයෙන් බොහෝ ධනය ඇදගනිත්.

942. උපට‍්ඨාපෙන‍්ති පරිසං කම‍්මතො නො ච ධම‍්මතො, ධම‍්මං පරෙසං දෙසෙන‍්ති ලාභතො නො ච අත්‍ථතො.

942. පිරිස ලවා උවැටන් කරවත්, (එ ද) කර්‍ම හෙයිනි, වැළිත් ධර්‍ම හෙයින් නො වේ, අනුනට දහම් දෙසත්, (එද) ලාභ නිමිත්තෙනි, වැළිත් අර්‍ත්‍ථ නිමිත්තෙන් නො වේ.

943. සඞ‍්ඝලාභස‍්ස භණ‍්ඩන‍්ති සඞ‍්ඝතො පරිබාහිරා, පරලාභූපජීවන‍්තා අහිරීකා න ලජ‍්ජරෙ.

943. සඞ්ඝයා කෙරෙන් බැහැරැ වූවාහු සඞ්ඝලාභයට කලහ කෙරෙති. අනුන් ගේ ලාභයෙන් රැකෙන්නා වූ (ඒ) අහිරිකයෝ ලජ්ජා නො වෙත්.

944. නානුයුත‍්තා තථා එකෙ මුණ‍්ඩා සඞ‍්ඝාටිපාරුතා, සම‍්භාවනංයෙවිච‍්ඡන‍්ති ලාභසක‍්කාරමුච‍්ඡිතා.

944. එසේ මැ ශ්‍රමණධර්‍මයෙහි නො යෙදුණු මුඬු වූ සඟළ පෙරෙවි ඇතැම් කෙනෙක් ලාභසත්කාරයෙහි මුසපත් වූවාහු සම්භාවනය මැ කැමැති වෙත්.

945. එවං නානප‍්පයාතම‍්හි න දානි සුකරං තථා, අඵුසිතං වා ඵුසිතුං ඵුසිතං නානුරක‍්ඛිතුං.

945. මෙසේ විවිධත්‍වයට ගිය කල්හි මෙකල ස්පර්‍ශ නො කළ (ධ්‍යානාදි) දහම් ස්පර්‍ශ කරන්නට හෝ ස්පර්‍ශ කළ දහම් රක්නට හෝ සුකර නො වේ.

946. යථා කණ‍්ටකට‍්ඨානම‍්හි චරෙය්‍ය අනුපාහනො, සතිං උපට‍්ඨපෙත්‍වාන එවං ගාමෙ මුනී චරෙ.

946. යම්සේ වහන් නැතියෙක් කටුපියසෙහි හැසිරෙන්නේ නම් එපරිද්දෙන් මුනි තෙම සිහි එළවා ගෙන ගමෙහි හැසිරෙන්නේ යි.

947. සරිත්‍වා පුබ‍්බකෙ යොගී තෙසං වත‍්තමනුස‍්සරං, කිඤ‍්චා’පි පච‍්ඡිමො කාලො ඵුසෙය්‍ය අමතං පදං.

947. පූර්‍වයෙහිදිවූ යෝගීන් සිහි කොට ඔවුන්ගේ වත් අනුගමනය කරන්නේ ඉදින් පශ්චිමවයස් ඇත්තේ නමුදු නිවනට පැමිණෙන්නේ යී.

948. ඉදං වත්‍වා සාලවනෙ සමණො භාවිතින්‍ද්‍රියො, බ්‍රාහ‍්මණො පරිනිබ‍්බායී ඉසි ඛීණපුනබ‍්භවො’ති.

948. වඩනාලද ඉඳුරන් ඇති (බාහිතපාපී හෙයින්) බ්‍රාහ්මණ වූ ඍෂි වූ ක්‍ෂය කළ පුනර්‍භවය ඇති (පාරාසරිය) මහණ තෙම සල්වෙනෙහි දී මෙය වදාරා පිරිනිවියේ යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා පාරාසරියො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසේ ආයුෂ්මත් පාරාසරිය ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ යි.

පාරාසරියත්‍ථෙරගාථා.

පාරාසරිය ස්ථවිරගාථා යි.

තස‍්සුද‍්දානං:

උද්දානය:

අධිමුත‍්තො පාරාසරියො තෙලකානි රට‍්ඨපාලො, මාලුඞ‍්ක්‍යසෙලො භද‍්දියො අඞ‍්ගුලි දිබ‍්බචක‍්ඛුකො. පාරාසරියො දසෙතෙ වීසතිනිපාතම‍්හි පරිකිත‍්තිතා, ගාථායො ද‍්වෙසතා හොන‍්ති පඤ‍්චතාලීස උත‍්තරින‍්ති.

අධිමුත්ත යැ, පාරාසරිය යැ, තේලකානි යැ, රට්ඨපාල යැ, මාලුඞ්ක්‍යපුත්ත යැ, සේල යැ, භද්දිය යැ, අඞ්ගුලිමාල යැ, අනුරුද්ධ යැ, පාරාසරිය යැ යි මේ දශ දෙනා විසි වැනි නිපාතයෙහි ප්‍රසිද්ධ යැ, ගාථාවෝ පන්සාලිස් තුරා දෙසියයක් වෙති.

වීසතිනිපාතො නිට‍්ඨිතො.

වීසතිනිපාතය නිමි.