යෙදුමෙන් කියවන්න

බ්‍රහ‍්මදත‍්තත්‍ථෙරගාථා

6. 1. 12.

6. 1. 12.

441. අක‍්කොධස‍්ස කුතො කොධො දන‍්තස‍්ස සමජීවිනො, සම‍්මදඤ‍්ඤා විමුත‍්තස‍්ස උපසන‍්තස‍්ස තාදිනො,

441. ක්‍රෝධ රහිත වූ (රහත් මගින් ඉඳුරන් දමනය කිරීමෙන්) දාන්ත වූ සම වූ දිවිපැවැතුම් ඇති මැනැවින් දතයුතු දහම් දැනැ (ආස්‍රවයෙන්) විමුක්ත වූ උපශාන්ත වූ (ඉටු අනිටු අරමුණෙහි නො සැලෙන) තාදී ගුණ ඇතියාහට ක්‍රෝධයෙක් කොයින් ද?

442. තස‍්සෙව තෙන පාපියො යො කුද‍්ධං පටිකුජ‍්ඣති, කුද‍්ධං අප‍්පටිකුජ‍්ඣන‍්තො සඞ‍්ගාමං ජෙති දුජ‍්ජයං.

442. යමෙක් තමා කෙරෙහි කිපියහුට පෙරළා කිපේ ද එයින් ඔහට මැ ඉතා අයහපතෙක් වෙයි. කිපියහුට පෙරළා නො කිපෙන්නේ දුර්‍ජය (ක්ලේශ) සඞ්ග්‍රාම දිනයි.

443. උභින‍්නමත්‍ථං චරති අත‍්තනො ච පරස‍්ස ච, පරං සඞ‍්කුපිතං ඤත්‍වා යො සතො උපසම‍්මති.

443. යමෙක් මෙරමා කිපියා දැනැ සිහි ඇති වැ (උපේක්‍ෂායෙන්) ඉවසා ද හෙතෙම තමහට ද මෙරමාහට ද යන දෙදෙනාට හිතයක් කරයි.

444. උභික‍්කං තිකිච‍්ඡන‍්තං තං අත‍්තනො ච පරස‍්ස ච, ජනා මඤ‍්ඤන‍්ති බාලොති යෙ ධම‍්මස‍්ස අකොවිදා.

444. යම් කෙනෙක් (ආර්‍ය්‍ය ආචාර) ධර්‍මයෙහි නො නිපුණ වෙත් ද ඒ බාලජනයෝ තමහට ද මෙරමාහට ද යන දෙදෙනාට (ක්‍රෝධව්‍යාධි හරනට) පිළියම් කරන ඒ පුද්ගල ‘බාලයෙකැ’යි හඟිති.

445. උප‍්පජ‍්ජෙ තෙ සචෙ කොධො ආවජ‍්ජ කකචූපමං, උප‍්පජ‍්ජජෙ චෙ රසෙ තණ‍්හා පුත‍්තමංසූපමං සර.

445. ඉදින් (කමටහන්හි යෙදෙන තොපට) ක්‍රෝධය උපදී නම් (බුදුන් වදාළ) කකචූපම අවවාද මෙනෙහි කරව. ඉදින් රසයෙහි තෘෂ්ණා උපදී නම් පුත්‍රමාංශොපමාව සිහි කරව.

446. සචෙ ධාවති චිත‍්තං තෙ කාමෙසු ච භවෙසු ච, ඛිප‍්පං නිග‍්ගණ‍්හ සතියා කිට‍්ඨාදං විය දුප‍්පසු’න‍්ති.

446. ඉදින් තොපගේ සිත පස්කම් ගුණයෙහි ද (කාමාදි) භවයෙහි ද දිවේ නම් (එසඳ) වහා සිහියෙන් ගොයම් කන නපුරු ගොනකු සෙයින් නිගනුව’යි.

ඉත්‍ථං සුදං ආයස‍්මා බ්‍රහ‍්මදත‍්තො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.

මෙසෙයින් ආයුෂ්මත් බ්‍රහ්මදත්ත ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.

බ්‍රහ‍්මදත‍්තත්‍ථෙරගාථා.

බ්‍රහ්මදත්ත ස්ථවිරගාථා යි.