සිරිමන්‍දත්‍ථෙරගාථා
6. 1. 13.
6. 1. 13.
447. ඡන‍්නමතිවස‍්සති විවටං නාතිවස‍්සති, තස‍්මා ඡන‍්නං විවරෙථ එවං තං නාතිවස‍්සති.
447. (ආපත්ති අනාරොවන විසින්) ප්‍රතිච්ඡන්න වූයේ අතිශයින් (ආපත්ති - ක්ලේශ) වර්‍ෂා කෙරෙයි (තෙමාලයි). විවෘත වූයේ නො වසී. එහෙයින් ප්‍රතිච්ඡන්නය විවෘත කරන්නේ යැ. මෙසේ ඒ ප්‍රතිච්ඡන්නය (ඇවැත්වැසි - කෙලෙස්වැසි) නො වසී.
448. මච‍්චුනාබ‍්භාහතො ලොකො ජරාය පරිවාරිතො, තණ‍්හාසල‍්ලෙන ඔතිණ‍්ණො ඉච‍්ඡාධූපායිතො සදා.
448. හැම කල්හි සත්ත්‍වලෝකය මරහු විසින් පහරනලද්දේ යැ. ජරාව විසින් පිරිවරනලද්දේ යැ. තෘෂ්ණාශල්‍ය විසින් බැසගන්නා ලද්දේ යැ. (අරමුණ පතන) ඊප්සාව විසින් තවනලද්දේ යි.
449. මච‍්චුනාබ‍්භාහතො ලොකො පරික‍්ඛිත‍්තො ජරාය ච, හඤ‍්ඤති නිච‍්චමත‍්තාණො පත‍්තදණ‍්ඩො’ව තක‍්කරො.
449. සත්ත්‍වලෝකය මරහු පහරනලද්දේ යැ. ජරාව විසින් පිරිකෙව් ද කරනලද්දේ යැ. පැමිණි දඬුවම් ඇති සොරකු සෙයින් අසරණ වැ නිරතුරු පෙළෙයි.
450. ආගච‍්ඡන‍්තග‍්ගිඛන්‍ධා’ව මච‍්චු ව්‍යාධි ජරා තයො, පච‍්චුග‍්ගන‍්තුං බලං නත්‍ථි ජවො නත්‍ථි පලායිතුං.
450. මරණ යැ ව්‍යාධි යැ ජරා යැ යන තිදෙනා ගිනිකඳු සෙයින් එති. ප්‍රතිමල්‍ය වැ පෙරට යන්නට බලයෙක් නැත. (පිටුපෑ) පලායන්නට ජවයෙක් නැති.
451. අමොඝං දිවසං කයිරා අප‍්පෙන බහුකෙන වා, යං ය විජහතෙ රත‍්තිං තදූනං තස‍්ස ජීවිතං.
451. මඳින් හෝ බෙහෙවින් හෝ (කරනලද විදර්‍ශනා මනසිකාරයෙන්) දවස නො සිස් කරන්නේ යැ. යම් යම් රාත්‍රියක් ඉක්මවා ද එයින් ඔහුගේ ජීවිතය ඌන වෙයි.
452. චරතො තිට‍්ඨතො වා පි ආසීනසයනස‍්ස වා, උපෙති චරිමා රත‍්ති න තෙ කාලො පමජ‍්ජිතු’න‍්ති.
452. යන්නාහට වේවයි සිටුනාහට වේවයි හිඳුනාහට වේවයි ශයනය කරන්නාහට වේවයි පශ්චිමරාත්‍රිය එළැඹෙයි. තොපට පමාවන්නට මේ කල් නො වේ යයි.
ඉත්‍ථං සුදං ආයස‍්මා සිරිමන්‍දො ථෙරො ගාථායො අභාසිත්‍ථා’ති.
මෙසෙයින් ආයුෂ්මත් සිරිමන්‍ද ස්ථවිරයන් වහන්සේ ගාථා වදාළහ.