යෙදුමෙන් කියවන්න

1. සුරියවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. සුරිය වර්ගය

1. පඨමකස‍්සපසුත‍්තවණ‍්ණනා

1. පඨමකස්සප සූත්‍ර වර්ණනාව

දෙවපුත‍්තසංයුත‍්තස‍්ස පඨමෙ දෙවපුත‍්තොති දෙවානඤ‍්හි අඞ‍්කෙ නිබ‍්බත‍්තා පුරිසා දෙවපුත‍්තා නාම, ඉත්‍ථියො දෙවධීතරො නාම හොන‍්ති. නාමවසෙන අපාකටාව “අඤ‍්ඤතරා දෙවතා”ති වුච‍්චති, පාකටො “ඉත්‍ථන‍්නාමො දෙවපුත‍්තො”ති. තස‍්මා හෙට‍්ඨා “අඤ‍්ඤතරා දෙවතා”ති වත්‍වා ඉධ “දෙවපුත‍්තො”ති වුත‍්තං. අනුසාසන‍්ති අනුසිට‍්ඨිං. අයං කිර දෙවපුත‍්තො භගවතා සම‍්බොධිතො සත‍්තමෙ වස‍්සෙ යමකපාටිහාරියං කත්‍වා තිදසපුරෙ වස‍්සං උපගම‍්ම අභිධම‍්මං දෙසෙන‍්තෙන ඣානවිභඞ‍්ගෙ – “භික‍්ඛූති සමඤ‍්ඤාය භික‍්ඛු, පටිඤ‍්ඤාය භික‍්ඛූ”ති (විභ· 510). එවං භික‍්ඛුනිද‍්දෙසං කථියමානං අස‍්සොසි. “එවං විතක‍්කෙථ, මා එවං විතක‍්කයිත්‍ථ, එවං මනසිකරොථ, මා එවං මනසාකත්‍ථ. ඉදං පජහථ, ඉදං උපසම‍්පජ‍්ජ විහරථා”ති (පාරා· 19). එවරූපං පන භික‍්ඛුඔවාදං භික‍්ඛුඅනුසාසනං න අස‍්සොසි. සො තං සන්‍ධාය – “භික‍්ඛුං භගවා පකාසෙසි, නො ච භික‍්ඛුනො අනුසාස”න‍්ති ආහ.

දෙවපුත්තසංයුත්තයේ පළමු වැන්නේ - දෙවපුත්තො දෙවියන්ගේ ඇකයෙහි පහළ වූ පුරුෂයෝ දේවපුත්ත (දිව්‍ය පුත්‍ර) නම් ද, ස්ත්‍රීහු දේවදුහිතෘ නම් ද වෙත්. නම් වශයෙන් ප්‍රකට නො වූයේ “අඤ්ඤතරා දෙවතා” (එක්තරා දේවතාවෙක්) යි කියනු ලැබේ. ප්‍රකට වූයේ මෙ බඳු නම් ඇති දේව පුත්‍රයා යි (කියනු ලැබේ.) එහෙයින් යට (පෙර) “අඤ්ඤතරා දෙවතා” යි කියා මෙහි “දෙවපුත්තො” යි කියන ලදි. අනුසාසං අනුශාසනය කළ සේක. මේ දේවපුත්‍රයා, භාග්‍යවතුන් වහන්සේ විසින් සම්බෝධියෙන් සත් වන වර්ෂයෙහි යමක ප්‍රාතිහාර්යය කොට තව්තිසා දෙව්ලොව වස් පිණිස වැඩම කොට අභිධර්මය දේශනා කරමින් ඣාන විභංගයෙහි “භික්‍ඛූති සමඤ්ඤාය භික්‍ඛූ පටිඤ්ඤාය භික්‍ඛූ” යි භික්‍ඛු නිද්දේසය වදාරනු ඇසී ය. “මෙලෙස විතර්කනය කරවු, මෙලෙස විතර්කනය නො කරවු, මෙසේ සිත්හි ලවු; මෙලෙස සිත්හි නො කරවු, මෙය අත් හරිවු, මෙය උපදවා කල්ගත කරවු” යි මේ ආකාරයේ භික්‍ෂු අවවාද අනුශාසනා නො ඇසී ය. හේ ඒ ගැන භික්‍ඛුං භගවා පකාසෙසි නො ච භික්‍ඛුනො අනුසාසං (භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂුවට පැවසූ සේක. (එහෙත්) භික්‍ෂුවට අනුශාසනාව නො පැවසූ සේක) යි කී ය.

තෙන හීති යස‍්මා මයා භික‍්ඛුනො අනුසිට‍්ඨි න පකාසිතාති වදසි, තස‍්මා. තඤ‍්ඤෙවෙත්‍ථ පටිභාතූති තුය‍්හෙවෙසා අනුසිට‍්ඨිපකාසනා උපට‍්ඨාතූති. යො හි පඤ‍්හං කථෙතුකාමො හොති, න ච සක‍්කොති සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන සද‍්ධිං සංසන්‍දිත්‍වා කථෙතුං. යො වා න කථෙතුකාමො හොති, සක‍්කොති පන කථෙතුං. යො වා නෙව කථෙතුකාමො හොති, කථෙතුං න ච සක‍්කොති. සබ‍්බෙසම‍්පි තෙසං භගවා පඤ‍්හං භාරං න කරොති. අයං පන දෙවපුත‍්තො කථෙතුකාමො චෙව, සක‍්කොති ච කථෙතුං. තස‍්මා තස‍්සෙව භාරං කරොන‍්තො භගවා එවමාහ. සොපි පඤ‍්හං කථෙසි.

තෙන හි යම් හෙයකින් මා විසින් භික්‍ෂූනට අනුශාසනා කරන ලදි. ප්‍රකාශ නො කරන ලදී’යි පවසහි ද? එහෙයින් තඤ්ඤෙවෙත්‍ථ පටිභාතු ඒ අනුශාසනාව ප්‍රකාශනය ඔබට ම ඇති වේවා. යමෙක් ප්‍රශ්නයක් ඇසීමට කැමැත්තේ (එහෙත්) සර්වඥතාඥානය සමග සංසන්දනය කොට කථා කිරීමට නො කැමැත්තේ වේ ද, (තවත්) යමෙක් කථා කිරීමට හැකි එහෙත් කථා කිරීමට නො කැමැත්තේ වේ ද, තවෙකෙක් කථා කිරීමට නො හැකි වූයේ කථා කිරීමට නො කැමැති වූයේත් වේ ද, භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු දෙනාට ම ප්‍රශ්නය බරක් නො කරන සේක. මේ දේවපුත්‍රයා වූ කලී ප්‍රශ්න කිරීමට කැමැත්තේත් කථා කිරීමට හැක්කේත් වේ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඔහුට බර තබන සේක් මෙසේ වදාළ සේක. ඔහු ද ප්‍රශ්නය විචාළේ ය.

තත්‍ථ සුභාසිතස‍්ස සික‍්ඛෙථාති සුභාසිතං සික‍්ඛෙය්‍ය, චතුසච‍්චනිස‍්සිතං දසකථාවත්‍ථුනිස‍්සිතං සත‍්තතිංසබොධිපක‍්ඛියනිස‍්සිතං චතුබ‍්බිධං වචීසුචරිතමෙව සික‍්ඛෙය්‍ය. සමණූපාසනස‍්ස චාති සමණෙහි උපාසිතබ‍්බං සමණූපාසනං නාම අට‍්ඨතිංසභෙදං කම‍්මට‍්ඨානං, තම‍්පි සික‍්ඛෙය්‍ය භාවෙය්‍යාති අත්‍ථො. බහුස‍්සුතානං වා භික‍්ඛූනං උපාසනම‍්පි සමණූපාසනං. තම‍්පි ‘කිං, භන‍්තෙ, කුසල”න‍්තිආදිනා පඤ‍්හපුච‍්ඡනෙන පඤ‍්ඤාවුද‍්ධත්‍ථං සික‍්ඛෙය්‍ය. චිත‍්තවූපසමස‍්ස චාති අට‍්ඨසමාපත‍්තිවසෙන චිත‍්තවූපසමං සික‍්ඛෙය්‍ය. ඉති දෙවපුත‍්තෙන තිස‍්සො සික‍්ඛා කථිතා හොන‍්ති. පුරිමපදෙන හි අධිසීලසික‍්ඛා කථිතා, දුතියපදෙන අධිපඤ‍්ඤාසික‍්ඛා, චිත‍්තවූපසමෙන අධිචිත‍්තසික‍්ඛාති එවං ඉමාය ගාථාය සකලම‍්පි සාසනං පකාසිතමෙව හොති.

එහි සුභාසිතස්ස සික්‍ඛෙථ සුභාෂිතය පුහුණු කරන්නෙහි ය. සත්‍ය සතර අඩංගු, දශකථාවස්තු සහිත, සත්තිස් බෝධි පාක්ෂික ධර්ම සහිත චතුර්විධ වාක් සුචරිතයෙහි ම හික්මෙන්නේ ය. සමණුපාසනස්ස ච ‘සමණෙහි උපාසිතබ්බං සමණුපාසනං’ (ශ්‍රමණයන් විසින් සේවනය කළ යුතු ශ්‍රමණ උපාසනය) නමි. අටතිස් ප්‍රකාර වූ කර්මස්ථාන, එය ද ශික්ෂා කළ යුත්තේ ය, වඩන්නේ ය යන අර්ථය යි. බහුශ්‍රැත වූ හෝ භික්‍ෂූන්ගේ උපාසන ද සමණ උපාසන වේ. එය ද ‘ස්වාමීනි කුශලය යනු කුමක් ද?” ආදි ප්‍රශ්න ඇසීම මඟින් ප්‍රඥාව වැඩීම සඳහා ශික්ෂණය කළ යුත්තේ ය. චිත්තවූපසමස්ස අෂ්ට සමාපත්ති වශයෙන් චිත්තවුපසමනය ශික්ෂණය කළ යුත්තේ ය. මෙසේ දේව පුත්‍රයා විසින් ශික්ෂා තුනක් පවසන ලද්දේ වේ. මුල් පදයෙන් අධිශීල ශික්ෂාව කියන ලදි. දෙවැනි පදයෙන් අධිප්‍රඥා ශික්ෂාව (කියන ලදි) චිත්ත උපසමය මගින් අධිචිත්ත ශික්ෂාව (කියන ලදි) යනුවෙනි. මෙසේ මේ ගාථාවෙන් සකල ශාසනය ම ප්‍රකාශ කරන ලද්දේ වේ.

පඨමං.

පළමු වැනි සූත්‍රය යි.

2. දුතියකස‍්සපසුත‍්තවණ‍්ණනා

2. දුතියකස්සප සූත්‍ර වර්ණනාව

දුතියෙ ඣායීති ද‍්වීහි ඣානෙහි ඣායී. විමුත‍්තචිත‍්තොති කම‍්මට‍්ඨානවිමුත‍්තියා විමුත‍්තචිත‍්තො. හදයස‍්සානුපත‍්තින‍්ති අරහත‍්තං. ලොකස‍්සාති සඞ‍්ඛාරලොකස‍්ස. අනිස‍්සිතොති තණ‍්හාදිට‍්ඨීහි අනිස‍්සිතො, තණ‍්හාදිට‍්ඨියො වා අනිස‍්සිතො. තදානිසංසොති අරහත‍්තානිසංසො. ඉදං වුත‍්තං හොති – අරහත‍්තානිසංසො භික‍්ඛු අරහත‍්තං පත්‍ථෙන‍්තො ඣායී භවෙය්‍ය, සුවිමුත‍්තචිත‍්තො භවෙය්‍ය, ලොකස‍්ස උදයබ‍්බයං ඤත්‍වා අනිස‍්සිතො භවෙය්‍ය. තන‍්තිධම‍්මො පන ඉමස‍්මිං සාසනෙ පුබ‍්බභාගොති.

දෙවැන්නෙහි - ඣායී දැහැන් දෙකෙන් ධ්‍යාන වඩන්නෙක්, විමුත්ත චිත්තො - කර්මස්ථාන විමුක්තියෙන් මිදුණු චිත්තය ඇත්තේ, හදයස්සානුපත්තිං අර්හත්වය, ලොකස්ස සංස්කාර ලෝකයේ, අනිස්සිතො තෘෂ්ණා දෘෂ්ටිවලින් නො සෙවුණු, තදානිසංසො අර්හත්ව ආනිශංසය ඇත්තෙක් කියන ලද්දේ මෙය යි. අර්හත්ව ආනිශංසය ඇති භික්ෂුව අර්හත්වය ප්‍රාර්ථනා කරමින් දැහැන් වඩන්නේ වෙයි, මැනවින් මිදුණු සිත් ඇත්තේ වෙයි, ලොවෙහි උදයව්‍යය (ඇති වීම නැති වීම) දැන නො ඇළුනේ වෙයි. ත්‍රිපිටක ධර්මය මේ ශාසනයෙහි සියල්ලට පූර්වභාග වූ පිළිවෙතයි.

දුතියං.

දෙවැනි සූත්‍රය යි.

3. මාඝසුත‍්තවණ‍්ණනා

3. මාඝ සූත්‍ර වර්ණනාව

තතියෙ මාඝොති සක‍්කස‍්සෙතං නාමං. ස‍්වෙව වත‍්තෙන අඤ‍්ඤෙ අභිභවිත්‍වා දෙවිස‍්සරියං පත‍්තොති වත්‍රභූ, වත්‍රනාමකං වා අසුරං අභිභවතීති වත්‍රභූ.

තෙවැන්නේ - මාඝො මෙය ශක්‍රයාට නමකි. තමාගේ ම ආචාරයෙන් (පැවැත්මෙන්) අන්‍යයන් අභිභවනය කොට දෙවි ඉසුරු බවට පත් වූයේ යි වත්‍රභූ, වත්‍ර නම් වූ අසුරයා අභිභවනය කරතැයි හෝ වත්‍රභූ.

තතියං.

තෙවැනි සූත්‍රය යි.

4. මාගධසුත‍්තවණ‍්ණනා

4. මාගධ සූත්‍ර වර්ණනාව

චතුත්‍ථං වුත‍්තත්‍ථමෙව.

සිවු වැන්න කියන ලද අර්ථය ම ය.

චතුත්‍ථං.

සිවු වැනි සූත්‍රය යි.

5. දාමලිසුත‍්තවණ‍්ණනා

5. දාමලි සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ න තෙනාසීසතෙ භවන‍්ති තෙන කාරණෙන යං කිඤ‍්චි භවං න පත්‍ථෙති. ආයතපග‍්ගහො නාමෙස දෙවපුත‍්තො, ඛීණාසවස‍්ස කිච‍්චවොසානං නත්‍ථි. ඛීණාසවෙන හි ආදිතො අරහත‍්තප‍්පත‍්තියා වීරියං කතං, අපරභාගෙ මයා අරහත‍්තං පත‍්තන‍්ති මා තුණ‍්හී භවතු, තථෙව වීරියං දළ‍්හං කරොතු පරක‍්කමතූති චින‍්තෙත්‍වා එවමාහ.

පස් වැන්නේ - න තෙනාසිංසතෙ භවං ඒ කාරණයෙන් කිසියම් භවයක් නො පතයි. මේ දේවපුත්‍රයා ‘ආයතිපග්ගහ’ නමි. ආශ්‍රවයන් ක්ෂය කළහුට කෘත්‍යාවසානයක් (කළ යුතු දේහි අවසානයක්) නැත. ක්‍ෂීණාශ්‍රවයන් විසින් මුලින් ම අර්හත් බවට පත්වීම පිණිස වීර්යය කරන ලදි. අපරභාගයෙහි මා විසින් අරඹන ලදැයි නිහඬ නො වන්න. එලෙස ම දැඩි ලෙස වීර්ය කරන්න. මහත් වීර්යය යොදවන්නැයි සිතා මෙසේ කී ය.

අථ භගවා “අයං දෙවපුත‍්තො ඛීණාසවස‍්ස කිච‍්චවොසානං අකථෙන‍්තො මම සාසනං අනිය්‍යානිකං කථෙති, කිච‍්චවොසානමස‍්ස කථෙස‍්සාමී”ති චින‍්තෙත්‍වා නත්‍ථි කිච‍්චන‍්තිආදිමාහ. තීසු කිර පිටකෙසු අයං ගාථා අසංකිණ‍්ණා. භගවතා හි අඤ‍්ඤත්‍ථ වීරියස‍්ස දොසො නාම දස‍්සිතො නත්‍ථි. ඉධ පන ඉමං දෙවපුත‍්තං පටිබාහිත්‍වා “ඛීණාසවෙන පුබ‍්බභාගෙ ආසවක‍්ඛයත්‍ථාය අරඤ‍්ඤෙ වසන‍්තෙන කම‍්මට‍්ඨානං ආදාය වීරියං කතං, අපරභාගෙ සචෙ ඉච‍්ඡති, කරොතු, නො චෙ ඉච‍්ඡති, යථාසුඛං විහරතූ”ති ඛීණාසවස‍්ස කිච‍්චවොසානදස‍්සනත්‍ථං එවමාහ. තත්‍ථ ගාධන‍්ති පතිට‍්ඨං.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ දේවපුත්‍රයා ක්ෂීණාශ්‍රවයන්ගේ කෘත්‍යාවසානය නො කියන්නේ මගේ ශාසනය අනෛර්යාණික යි කියයි. ඔහුට කෘත්‍යාවසානය ප්‍රකාශ කරන්නෙමැයි සිතා නත්‍ථි කිච්චං ආදිය වදාළ සේක. ත්‍රිපිටකයෙහි මේ ගාථාව අසංකීර්ණ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් අන් තැන්වල වීර්යයෙහි දෝෂයක් නො දක්නා ලද්දේ වේ. මෙහි දී දේවපුත්‍රයා වළක්වා ක්‍ෂීණාශ්‍රවයා විසින් පෙරවරුයේ ආශ්‍රව ක්ෂය පිණිස ආරණ්‍යයෙහි වසන්නේ කමටහන් ගෙන වීර්යය කරන ලදි. පස්වරුවේ ඉදින් කැමති නම් කරත්වා නො කැමැත්තේ නම් සුවසේ සිටිත්වායි ක්ෂීණාශ්‍රවයන්ගේ කෘත්‍යාවසානය දක්වනු පිණිස මෙසේ වදාළ සේක. එහි ගාධං යනු ප්‍රතිෂ්ඨාව (පිහිට) ය.

පඤ‍්චමං.

පස් වැනි සූත්‍රය යි.

6. කාමදසුත‍්තවණ‍්ණනා

6. කාමද සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ දුක‍්කරන‍්ති අයං කිර දෙවපුත‍්තො පුබ‍්බයොගාවචරො බහලකිලෙසතාය සප‍්පයොගෙන කිලෙසෙ වික‍්ඛම‍්භෙන‍්තො සමණධම‍්මං කත්‍වා පුබ‍්බූපනිස‍්සයමන්‍දතාය අරියභූමිං අප‍්පත්‍වාව කාලං කත්‍වා දෙවලොකෙ නිබ‍්බත‍්තො. සො “තථාගතස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා දුක‍්කරභාවං ආරොචෙස‍්සාමී”ති ආගන‍්ත්‍වා එවමාහ. තත්‍ථ දුක‍්කරන‍්ති දසපි වස‍්සානි…පෙ… සට‍්ඨිපි යදෙතං එකන‍්තපරිසුද‍්ධස‍්ස සමණධම‍්මස‍්ස කරණං නාම, තං දුක‍්කරං. සෙඛාති සත‍්ත සෙඛා. සීලසමාහිතාති සීලෙන සමාහිතා සමුපෙතා. ඨිතත‍්තාති පතිට‍්ඨිතසභාවා. එවං පුච‍්ඡිතපඤ‍්හං විස‍්සජ‍්ජෙත්‍වා ඉදානි උපරිපඤ‍්හසමුට‍්ඨාපනත්‍ථං අනගාරියුපෙතස‍්සාතිආදිමාහ. තත්‍ථ අනගාරියුපෙතස‍්සාති අනගාරියං නිග‍්ගෙහභාවං උපෙතස‍්ස. සත‍්තභූමිකෙපි හි පාසාදෙ වසන‍්තො භික‍්ඛු වුඩ‍්ඪතරෙන ආගන‍්ත්‍වා “මය‍්හං ඉදං පාපුණාතී”ති වුත‍්තෙ පත‍්තචීවරං ආදාය නික‍්ඛමතෙව. තස‍්මා “අනගාරියුපෙතො”ති වුච‍්චති. තුට‍්ඨීති චතුපච‍්චයසන‍්තොසො. භාවනායාති චිත‍්තවූපසමභාවනාය.

සය වැන්නේ - දුක්කරං මේ දේවපුත්‍රයා පූර්ව යෝගාවචරයෙකි. කෙලෙස් වැඩි බැවින් සප්‍රයෝගයෙන් (මනා සේ යෙදීමෙන්) කෙළෙස් යටපත් කරන්නේ ශ්‍රමණ ධර්ම කොට පූර්ව උපනිඃශ්‍රය මඳ බැවින් ආර්ය භාවයට නො පැමිණ කාල ක්‍රියා කොට දෙව්ලොව පහළ විණි. හේ තථාගතයන් වහන්සේ ළඟට ගොස් දුෂ්කර බව දක්වන්නෙමැයි පැමිණ මෙසේ කී ය. එහි දුක්කරං දසවසක්.... සැට වසක් ම ඒකාන්ත පරිශුද්ධ වූ ශ්‍රමණධර්මකරණය යි යමක් වේ ද එය දුෂ්කර ය. සෙඛා සප්ත ශෛක්ෂ්‍යයෝ (රහත් ඵලය හැර ඉතිරි මාර්ග ඵල ලාභීහු), සීලසමාහිතා ශීලයෙන් යුක්තවූ, සමුපේත වූ, ඨිතත්තා (ස්ථිර ව) පිහිටි ස්වභාවය නිසා; මෙසේ අසන ලද ප්‍රශ්නය විසඳා දැන් තවත් ප්‍රශ්න මතු කිරීම පිණිස අනගාරියුපෙතස්ස ආදිය කී සේක. එහි අනගාරියුපෙතස්ස ‘අනගාරියං’ ගෘහයන් නොමැති බවට පැමිණියහුට; සත් මහල් ප්‍රාසාදයෙහි වසන භික්‍ෂුව වුව ද මහල්ලකු පැමිණ “මෙය මට පමුණුවන්නැයි” කී කල්හි පා සිවුරු ගෙන යන්නේ ම ය. එහෙයින් “අනගාරියුපෙතො” යි කියනු ලැබේ. තුට්ඨි සිවු පසයෙන් ලැබෙන සතුට; භාවනාය සිත සංසිඳවන භාවනාවෙන්

තෙ ඡෙත්‍වා මච‍්චුනො ජාලන‍්ති යෙ රත‍්තින්‍දිවං ඉන්‍ද්‍රියූපසමෙ රතා, තෙ දුස‍්සමාදහං චිත‍්තං සමාදහන‍්ති. යෙ ච සමාහිතචිත‍්තා, තෙ චතුපච‍්චයසන‍්තොසං පූරෙන‍්තා න කිලමන‍්ති. යෙ සන‍්තුට‍්ඨා, තෙ සීලං පූරෙන‍්තා න කිලමන‍්ති. යෙ සීලෙ පතිට‍්ඨිතා සත‍්ත සෙඛා, තෙ අරියා මච‍්චුනො ජාලසඞ‍්ඛාතං කිලෙසජාලං ඡින්‍දිත්‍වා ගච‍්ඡන‍්ති. දුග‍්ගමොති “සච‍්චමෙතං, භන‍්තෙ, යෙ ඉන්‍ද්‍රියූපසමෙ රතා, තෙ දුස‍්සමාදහං සමාදහන‍්ති…පෙ… යෙ සීලෙ පතිට‍්ඨිතා, තෙ මච‍්චුනො ජාලං ඡින්‍දිත්‍වා ගච‍්ඡන‍්ති”. කිං න ගච‍්ඡිස‍්සන‍්ති? අයං පන දුග‍්ගමො භගවා විසමො මග‍්ගොති ආහ. තත්‍ථ කිඤ‍්චාපි අරියමග‍්ගො නෙව දුග‍්ගමො න විසමො, පුබ‍්බභාගපටිපදාය පනස‍්ස බහූ පරිස‍්සයා හොන‍්ති. තස‍්මා එවං වුත‍්තො. අවංසිරාති ඤාණසිරෙන අධොසිරා හුත්‍වා පපතන‍්ති. අරියමග‍්ගං ආරොහිතුං අසමත්‍ථතායෙව ච තෙ අනරියමග‍්ගෙ පපතන‍්තීති ච වුච‍්චන‍්ති. අරියානං සමො මග‍්ගොති ස‍්වෙව මග‍්ගො අරියානං සමො හොති. විසමෙ සමාති විසමෙපි සත‍්තකායෙ සමායෙව.

තෙ ඡෙත්‍වා මච්චුනො ජාලං යම් කෙනෙක් රෑ දවල් ඉන්ද්‍රියන් සංසිඳවීමෙහි ඇළුණහු ද ඔවුහු එක් තැන් කිරීමට දුෂ්කර සිත එක් තැන් කරති. යම් කෙනෙක් එකඟ කළ සිත් ඇත්තාහු වෙත් ද, ඔවුහු සිවුපස සතුට පුරන්නෝ වෙහෙසට පත් නො වෙති. යම් කෙනෙක් සතුටට පත් වූවාහු ද ඔවුහු ශීලය පුරමින් වෙහෙසට පත් නො වෙති. යම් කෙනෙක් ශීලයෙහි පිහිටියෝ ද සප්ත සේඛ වූ ඒ ආර්යයෝ මාරයාගේ ජාලසංඛ්‍යාත කෙලෙස් දැල සිඳ ලා යති. දුග්ගමො ස්වාමීනි, එය සත්‍ය ය. යම් කෙනෙක් ඉන්‍ද්‍රියයන් සංසිඳවීමේ ඇළුණාහු ද ඔවුහු එකඟ කර ගැනීමට දුෂ්කර සිත එක් තැන් කරති... යම් කෙනෙක් සීලයෙහි පිහිටියාහු ද ඔවුහු මාරයාගේ ජාලය සිඳ යත්. නො යන්නේ ඇයි? මෙය දුග්ගමො භගවා විසමො මග්ගො (භාග්‍යවතුන් වහන්ස, මාර්ගය විෂම ය, ගමන දුෂ්කර ය) යි පැවසී ය. එහි ආර්ය මාර්ගය දුර්ගම හෝ විෂම හෝ නො වන්නේ වුව ද මේ පූර්වභාග ප්‍රතිපදාවෙහි බොහෝ හිරිහැර වේ. එහෙයින් මෙසේ පවසන ලදි. අවං සිරා ඥාන මුදුනින් (හිසින්) අධෝසිරස් ව (යටිකුරු ව), පපතන්ති ආර්ය මාර්ගයේ නැඟීමට අසමත් බව හේතුවෙන් අනාර්ය මාර්ගයෙහි වැටෙති යි ද කියත්, අරියානං සමො මග්ගො තමාගේ මාර්ගය අනාර්යයන්ගේ (මාර්ගය හා) සම වේ. විසමො සමා විෂම වූ සත්ත්ව සමූහයා අතරෙහි පවා සම වෙත් ම ය.

ඡට‍්ඨං.

සය වැනි සූත්‍රය යි.

7. පඤ‍්චාලචණ‍්ඩසුත‍්තවණ‍්ණනා

7. පඤ්චාලචණ්ඩ සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ සම‍්බාධෙති නීවරණසම‍්බාධං කාමගුණසම‍්බාධන‍්ති ද‍්වෙ සම‍්බාධා. තෙසු ඉධ නීවරණසම‍්බාධං අධිප‍්පෙතං. ඔකාසන‍්ති ඣානස‍්සෙතං නාමං. පටිලීනනිසභොති පටිලීනසෙට‍්ඨො. පටිලීනො නාම පහීනමානො වුච‍්චති. යථාහ – “කථඤ‍්ච, භික‍්ඛවෙ, භික‍්ඛු පටිලීනො හොති. ඉධ, භික‍්ඛවෙ, භික‍්ඛුනො අස‍්මිමානො පහීනො හොති උච‍්ඡින‍්නමූලො තාලාවත්‍ථුකතො අනභාවංකතො ආයතිං අනුප‍්පාදධම‍්මො”ති (අ· නි· 4.38; මහානි· 87). පච‍්චලත්‍ථංසූති පටිලභිංසු. සම‍්මා තෙති යෙ නිබ‍්බානපත‍්තියා සතිං පටිලභිංසු, තෙ ලොකුත‍්තරසමාධිනාපි සුසමාහිතාති මිස‍්සකජ‍්ඣානං කථිතං.

සත් වැන්නෙහි - සම්බාධෙ නීවරණ සම්බාධ, කාම ගුණ සම්බාධ යි සම්බාධ දෙකකි. ඒවායින් මෙහි නීවරණ සම්බාධ අදහස් කරන ලදි. ඔකාසො මෙය ධ්‍යානයට නමකි. පතිලීනනිසභො පතිලීන ශ්‍රේෂ්ඨ වූ ‘පතිලීන’ යනු ‘ප්‍රහීණ වූ මානය ඇත්තේ’ යි කියනු ලැබේ. ‘කථඤ්ච භික්ඛවෙ භික්ඛු පතිලීනො හොති? ඉධ භික්ඛවෙ භික්ඛුනො අසම්මානො පහීනො හොති උච්ඡින්නමූලො තාලාවත්‍ථුකතො අනාභවකතො ආයතිං අනුප්පාදධම්මො (මහණෙනි, භික්ෂුව කෙසේ නම් පතිලීන වේ ද? මහණෙනි, මෙහි භික්ෂුවගේ අස්මිමානය ප්‍රහීන වී ද, උදුරා දමනු ලැබූ මුල් ඇත්තේ වී ද, කරටිය කඩන ලද තල් ගසක් මෙන් වූයේ ද, නැවත ඇති වීම නැති කළ, මතු ඉපදීමක් නොමැති බව ස්වභාව කොට ඇති) යි කී පරිදි ය. පච්චලද්ධංසු ලැබුවාහු ය. සුසමාහිතා යම් කෙනෙක් නිවනට පැමිණීම පිණිස සිහිය ලැබුවාහු ද ඔවුහු ලෝකෝත්තර සමාධියෙන් ද මැනවින් සමාධිගත වූවෝ ය යි මිශ්‍ර වූ ධ්‍යානය පවසන ලදි.

සත‍්තමං.

සත් වැනි සූත්‍රය යි.

8. තායනසුත‍්තවණ‍්ණනා

8. තායන සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ පුරාණතිත්‍ථකරොති පුබ‍්බෙ තිත්‍ථකරො. එත්‍ථ ච තිත්‍ථං නාම ද‍්වාසට‍්ඨි දිට‍්ඨියො, තිත්‍ථකරො නාම තාසං උප‍්පාදකො සත්‍ථා. සෙය්‍යථිදං නන්‍දො, වච‍්ඡො, කිසො, සංකිච‍්චො. පුරාණාදයො පන තිත්‍ථියා නාම. අයං පන දිට‍්ඨිං උප‍්පාදෙත්‍වා කථං සග‍්ගෙ නිබ‍්බත‍්තොති? කම‍්මවාදිතාය. එස කිර උපොසථභත‍්තාදීනි අදාසි, අනාථානං වත‍්තං පට‍්ඨපෙසි, පතිස‍්සයෙ අකාසි, පොක‍්ඛරණියො ඛණාපෙසි, අඤ‍්ඤම‍්පි බහුං කල්‍යාණං අකාසි. සො තස‍්ස නිස‍්සන්‍දෙන සග‍්ගෙ නිබ‍්බත‍්තො, සාසනස‍්ස පන නිය්‍යානිකභාවං ජානාති. සො තථාගතස‍්ස සන‍්තිකං ගන‍්ත්‍වා සාසනානුච‍්ඡවිකා වීරියප‍්පටිසංයුත‍්තා ගාථා වක‍්ඛාමීති ආගන‍්ත්‍වා ඡින්‍ද සොතන‍්තිආදිමාහ.

අට වැන්නෙහි - පුරාණතිත්‍ථකරො පැරණි තීර්ථකයකු වූ, මෙහි ද ‘තිත්‍ථ’ නම් දෙසැටක් දෘෂ්ටි ය, ‘තිත්‍ථකරො’ නම් ඒවායේ උත්පාදකයා (ශාස්තෘවරයා) ය. එනම්, නන්ද, වත්ස, කෘශ, සංකිච්ච, පූරණ ආදීහු තීර්ථකයෝ නම් වෙත්. මේ දෘෂ්ටිය උපදවා කෙසේ ස්වර්ගයෙහි පහළ වූවෝ ද? කර්මවාදීභාවය නිසා ය. මෙ තෙමේ පෙහෙවස් බත් ආදිය දුන්නේ ය. අනාථයනට දන් දෙවී ය, ඉණිමං තැනවී ය. පොකුණු තැනවී ය, තවත් බොහෝ හොඳ දේ කළේ ය. හේ ඒ නො නැවත ගලා එන දෙයින් ස්වර්ගයෙහි පහළ විණි. (බුදුන් වහන්සේගේ) ශාසනයෙහි නෛර්යාණිකභාවය දනියි. හේ තථාගතයන් වහන්සේගේ සමීපයට ගොස් ශාසනයට ගැලපෙන වීර්යය අඩංගු ගාථාවන් කියන්නෙමි යි පැමිණ ‘ඡින්‍ද සොතං’ ආදිය පැවසී ය.

තත්‍ථ ඡින්‍දාති අනියමිතආණත‍්ති. සොතන‍්ති තණ‍්හාසොතං. පරක‍්කම‍්මාති පරක‍්කමිත්‍වා වීරියං කත්‍වා. කාමෙති කිලෙසකාමෙපි වත්‍ථුකාමෙපි. පනුදාති නීහර. එකත‍්තන‍්ති ඣානං. ඉදං වුත‍්තං හොති – කාමෙ අජහිත්‍වා මුනි ඣානං න උපපජ‍්ජති, න පටිලභතීති අත්‍ථො. කයිරා චෙ කයිරාථෙනන‍්ති යදි වීරියං කරෙය්‍ය, කරෙය්‍යාථ, තං වීරියං න ඔසක‍්කෙය්‍ය. දළ‍්හමෙනං පරක‍්කමෙති දළ‍්හං එනං කරෙය්‍ය. සිථිලො හි පරිබ‍්බාජොති සිථිලගහිතා පබ‍්බජ‍්ජා. භිය්‍යො ආකිරතෙ රජන‍්ති අතිරෙකං උපරි කිලෙසරජං ආකිරති. අකතං දුක‍්කටං සෙය්‍යොති දුක‍්කටං අකතමෙව සෙය්‍යො. යං කිඤ‍්චීති න කෙවලං දුක‍්කටං කත්‍වා කතසාමඤ‍්ඤමෙව, අඤ‍්ඤම‍්පි යං කිඤ‍්චි සිථිලං කතං එවරූපමෙව හොති. සංකිලිට‍්ඨන‍්ති දුක‍්කරකාරිකවතං. ඉමස‍්මිං හි සාසනෙ පච‍්චයහෙතු සමාදින‍්නධුතඞ‍්ගවතං සංකිලිට‍්ඨමෙව. සඞ‍්කස‍්සරන‍්ති සඞ‍්කාය සරිතං, “ඉදම‍්පි ඉමිනා කතං භවිස‍්සති, ඉදම‍්පි ඉමිනා”ති එවං ආසඞ‍්කිතපරිසඞ‍්කිතං. ආදිබ්‍රහ‍්මචරියිකාති මග‍්ගබ්‍රහ‍්මචරියස‍්ස ආදිභූතා පුබ‍්බපධානභූතා.

එහි ඡින්‍ද නියම නො කළ අණ කිරීම ය. සොතං තෘෂ්ණා ප්‍රවාහය පරක්කමා පරාක්‍රම කොට, වීර්ය කොට කාමෙ ක්ලේශකාමත්, වස්තු කාමත්, පනුද දුරු කරව. එකත්තං ධ්‍යානය. කියන ලද්දේ මෙය යි: කාමයන් දුරු නො කර මුල් ධ්‍යානය නො උපදී නො ලබයි යන අරුත යි, කයිරා චෙ කයිරා ථෙතං ඉදින් වීර්යය කරන්නේ නම් කරන්න: ඒ වීර්යය නො පසුබසින්නේ ය. දළ්හමෙතං පරක්කමෙ දැඩි ලෙස කරන්නේ ය. සිථිලො හි පරිබ්බාජො ලිහිල් ලෙස ගන්නා ලද පැවිදි බව, භිය්‍යො ආකිරතෙ රජං මතුයෙහි වැඩිපුර (තව තවත්) කෙළෙස් දුහුවිලි වගුරුවයි. අකතං දුක්කතං සෙය්‍යො නපුරු ලෙස කරන ලද්ද (පාපය) නො කරන ලද්දේ ම උතුම් ය. යං කිඤ්චි දුක්කතය (පාපය) පමණක් නොව ශ්‍රමණ බව ද, අන් යම් කිසිවක් ලිහිල් ව කරන ලද ද එය ද එසේ ම වේ. සංකිලිට්ඨං දුෂ්කරකාරික ආදි ව්‍රතය, මේ සසුනේ ප්‍රත්‍යය හේතුවෙන් සමාදන් වූ ධුතංග ව්‍රතය කිළිටි වූවක් ම ය. සංකස්සරං සැක සංකාවෙන් යුතු ව ගිය (හැසිරුණු), මෙයත් මෙයින් කරන ලද්දේ වන්නේ ය. මෙයත් මෙයින් කරන ලද්දේ වන්නේ ය) ආදි ලෙස සැක කරන ලද, දැඩි ව සැක කරන ලද, ආදිබ්‍රහ්මචරියකා මාර්ග බ්‍රහ්මචර්යයේ ආදී වූ (මුල් වූ), පූර්ව ප්‍රධාන වූ.

අට‍්ඨමං.

අට වැනි සූත්‍රය යි.

9. චන්‍දිමසුත‍්තවණ‍්ණනා

9. චන්දිම සූත්‍ර වර්ණනාව

නවමෙ චන්‍දිමාති චන්‍දවිමානවාසී දෙවපුත‍්තො. සබ‍්බධීති සබ‍්බෙසු ඛන්‍ධආයතනාදීසු. ලොකානුකම‍්පකාති තුය‍්හම‍්පි එතස‍්සපි තාදිසා එව. සන‍්තරමානොවාති තුරිතො විය. පමුඤ‍්චසීති අතීතත්‍ථෙ වත‍්තමානවචනං.

නව වැන්නෙහි - චන්‍දිමා චන්ද්‍රවිමාන වැසි දෙවපුත්තො. සබ්බධි ස්කන්ධ ආයතන ආදි සියල්ලෙහි. ලොකානුකම්පකා ඔබටත් ඔහුටත් එක් බඳු ම ය. සන්තරමානොව ඉක්මන් ගමන් ඇත්තකු මෙන්, පමුඤ්චසි (මිදුවෙහි ද?) අතීතාර්ථයෙහි වර්තමාන වචන යි.

නවමං.

නව වැනි සූත්‍රය යි.

10. සූරියසුත‍්තවණ‍්ණනා

10. සුරිය සූත්‍ර වර්ණනාව

දසමෙ සූරියොති සූරියවිමානවාසී දෙවපුත‍්තො. අන්‍ධකාරෙති චක‍්ඛුවිඤ‍්ඤාණුප‍්පත‍්තිනිවාරණෙන අන්‍ධභාවකරණෙ. විරොචතීති වෙරොචනො. මණ‍්ඩලීති මණ‍්ඩලසණ‍්ඨානො. මා, රාහු, ගිලී චරමන‍්තලික‍්ඛෙති අන‍්තලික‍්ඛෙ චරං සූරියං, රාහු, මා ගිලීති වදති. කිං පනෙස තං ගිලතීති ? ආම, ගිලති. රාහුස‍්ස හි අත‍්තභාවො මහා, උච‍්චත‍්තනෙන අට‍්ඨයොජනසතාධිකානි චත‍්තාරි යොජනසහස‍්සානි, බාහන‍්තරමස‍්ස ද‍්වාදසයොජනසතානි, බහලත‍්තෙන ඡ යොජනසතානි, සීසං නව යොජනසතං, නලාටං තියොජනසතං, භමුකන‍්තරං පණ‍්ණාසයොජනං, මුඛං ද‍්වියොජනසතං, ඝානං තියොජනසතං, මුඛාධානං තියොජනසතගම‍්භීරං හත්‍ථතලපාදතලානි පුථුලතො ද‍්වියොජනසතානි. අඞ‍්ගුලිපබ‍්බානි පණ‍්ණාස යොජනානි. සො චන්‍දිමසූරියෙ විරොචමානෙ දිස‍්වා ඉස‍්සාපකතො තෙසං ගමනවීථිං ඔතරිත්‍වා මුඛං විවරිත්‍වා තිට‍්ඨති. චන්‍දවිමානං සූරියවිමානං වා තියොජනසතිකෙ මහානරකෙ පක‍්ඛිත‍්තං විය හොති. විමානෙ අධිවත්‍ථා දෙවතා මරණභයතජ‍්ජිතා එකප‍්පහාරෙනෙව විරවන‍්ති. සො පන විමානං කදාචි හත්‍ථෙන ඡාදෙති, කදාචි හනුකස‍්ස හෙට‍්ඨා පක‍්ඛිපති, කදාචි ජිව‍්හාය පරිමජ‍්ජති, කදාචි අවගණ‍්ඩකාරකං භුඤ‍්ජන‍්තො විය කපොලන‍්තරෙ ඨපෙති. වෙගං පන වාරෙතුං න සක‍්කොති. සචෙ වාරෙස‍්සාමීති ගණ‍්ඩකං කත්‍වා තිට‍්ඨෙය්‍ය, මත්‍ථකං තස‍්ස භින්‍දිත්‍වා නික‍්ඛමෙය්‍ය, ආකඩ‍්ඪිත්‍වා වා නං ඔනමෙය්‍ය. තස‍්මා විමානෙන සහෙව ගච‍්ඡති. පජං මමන‍්ති චන්‍දිමසූරියා කිර ද‍්වෙපි දෙවපුත‍්තා මහාසමයසුත‍්තකථනදිවසෙ සොතාපත‍්තිඵලං පත‍්තා. තෙන භගවා “පජං මම”න‍්ති ආහ, පුත‍්තො මම එසොති අත්‍ථො.

දස වැන්නෙහි - සුරියො සූර්යවිමානවාසී දෙවපුත්තො අන්‍ධකාරෙ චක්ඛු විඤ්ඤාණ උත්පත්තිය වළක්වන බැවින් අඳ බව ඇති කරන, විරොචති යි (බබළවති යි) වෙරොචනො. මණ්ඩලී මණ්ඩලසණ්ඨාන වූ (සූර්ය බිම්බ සහිත වූ) මා රාහු, ගිලී චරං අන්තලික්‍ඛෙ රාහු අසුරය, අහසෙහි සැරිසරන සූර්යයා නො ගිලිනු යි කියයි. කිම ඔහු (සූර්යයා) ගිලියි ද? එසේ ය, ගිලියි. රාහුගේ ශරීරය මහත් සේ උස් බව හේතු කොටගෙන ය: අටසිය යොදුනක් වැඩි යොදුන් හාරදහසකි. (හාරදහස් අටසියයකි) ඔහුගේ බාහු අතර (පළල) යොදුන් දොළොස් සියයකි. පළලින් යොදුන් හය සියයකි. හිස යොදුන් නව සියයකි. නළල යොදුන් තුන් සියයකි. ඇහි බැමි අතර යොදුන් පනහකි. මුඛය යොදුන් දෙසියයකි. නාසය යොදුන් තුන්සියයකි. මුඛද්වාරය යොදුන් දෙසියයක් ගැඹුරු ය. අත් තල, පාද තල පළලින් යොදුන් දෙසියයකි. ඇඟිලි පුරුක් යොදුන් පනහකි. හේ චන්ද්‍ර සූර්යයන් බැබළෙනු දැක ඊර්ෂ්‍යා ස්වභාවයෙන් යුක්ත වූයේ ඔවුන්ගේ ගමන් මගට බැස මුව අයා සිටියි. චන්ද්‍ර විමානය හෝ සූර්ය විමානය යොදුන් තුන් සියයක් වූ මහ නිරයට විසි කළාක් මෙන් වෙයි. විමානයෙහි වසන දේවතාවෝ මර බියෙන් බිය වූවෝ එක පැහැර කෑගසති. හේ (රාහු) කිසියම් දවසක විමානය අතෙන් වසයි; කිසියම් දවසක හනුවෙන් පහළට විසි කරයි: කිසියම් දිනෙක දිවෙන් පිරිමදියි. කිසියම් දවසක (වඳුරන්) කොපුවෙහි ආහාර ගුලි තබාගෙන බුදින්නාක් මෙන් කොපුල් අතරේ තබයි. වේගය වැළැක්වීමට නො හැකි වේ. ඉදින් වළක්වන්නෙමි යි දඬුවක් කොට සිටියි ද ඔහුගේ හිස පළා නික්මෙන්නේ ය. ඇද හෝ ඔහු පහතට නවයි ද එහෙයින් විමානය ද සහිතව යයි. පජං මම චන්‍ද්‍ර සූර්ය දේව පුත්‍ර දෙදෙනා ම මහාසමය සූත්‍ර දේශනාව කළ දිනයේ සෝවාන් ඵලයට පත්වූහ. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ “පජං” මම යි කී ය. ‘ඔහු මාගේ පුත්‍රයා ය’ යන අර්ථ යි.

දසමං.

දස වැනි සූත්‍රය යි.

පඨමො වග‍්ගො.

ප්‍රථම වර්ගය යි.