යෙදුමෙන් කියවන්න

2. පුරිසසුත‍්තවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. පුරිසසුත‍්තවණ‍්ණනා

2. පුරිස සූත්‍ර වර්ණනාව

දුතියෙ අභිවාදෙත්‍වාති පුරිමසුත‍්තෙ සරණගතත‍්තා ඉධ අභිවාදෙසි. අජ‍්ඣත‍්තන‍්ති නියකජ‍්ඣත‍්තං, අත‍්තනො සන‍්තානෙ උප‍්පජ‍්ජන‍්තීති අත්‍ථො. ලොභාදීසු ලුබ‍්භනලක‍්ඛණො ලොභො, දුස‍්සනලක‍්ඛණො දොසො, මුය‍්හනලක‍්ඛණො මොහොති. හිංසන‍්තීති විහෙඨෙන‍්ති නාසෙන‍්ති විනාසෙන‍්ති. අත‍්තසම‍්භූතාති අත‍්තනි සම‍්භූතා. තචසාරංව සම‍්ඵලන‍්ති යථා තචසාරං වෙළුං වා නළං වා අත‍්තනො ඵලං හිංසති විනාසෙති, එවං හිංසන‍්ති විනාසෙන‍්තීති.

දෙවැන්නේ - අභිවාදෙත්‍වා මුලින් ඇති සූත්‍රයෙහි පරිදි සරණ ගිය බැවින් මෙහි වඳියි. අජ්ඣත්තං නියක (තම) අධ්‍යාත්මය, තම සන්තානයෙහි උපදිත් යනු අරුත යි. ලෝභ ආදියෙහි ලෝභ කිරීම ලක්ෂණ කොට ඇත්තේ ලොභො; දූෂ්‍ය කිරීම ලක්ෂණ කොට ඇත්තේ දොසො; මුළා කරන ලක්ෂණ ඇත්තේ මොහො; හිංසන්ති හිරිහැර කරති, විනාශ කරති. අත්තසම්භූතා සිතෙහි හටගත් තචසාරංව සම්ඵලං යම්සේ තචසාර - උණ බට - තමන්ගේ ඵලය යම්සේ නසන්නේ ද, එසේ හිංසා කරයි, විනාශ කරයි.

දුතියං.

දෙවැනි සූත්‍රය යි.

3. රාජසුත‍්තවණ‍්ණනා

3. රාජ සූත්‍ර වර්ණනාව

තතියෙ අඤ‍්ඤත්‍ර ජරාමරණාති ජරාමරණතො මුත‍්තො නාම අත්‍ථීති වුච‍්චති. ඛත‍්තියමහාසාලාති ඛත‍්තියමහාසාලා නාම මහාසාරප‍්පත‍්තා ඛත‍්තියා. යෙසං හි ඛත‍්තියානං හෙට‍්ඨිමන‍්තෙන කොටිසතං නිධානගතං හොති, තයො කහාපණකුම‍්භා වලඤ‍්ජනත්‍ථාය ගෙහමජ‍්ඣෙ රාසිං කත්‍වා ඨපිතා හොන‍්ති, තෙ ඛත‍්තියමහාසාලා නාම. යෙසං බ්‍රාහ‍්මණානං අසීතිකොටිධනං නිහිතං හොති, දියඩ‍්ඪො කහාපණකුම‍්භො වලඤ‍්ජනත්‍ථාය ගෙහමජ‍්ඣෙ රාසිං කත්‍වා ඨපිතො හොති, තෙ බ්‍රාහ‍්මණමහාසාලා නාම. යෙසං ගහපතීනං චත‍්තාලීසකොටිධනං නිහිතං හොති, කහාපණකුම‍්භො වලඤ‍්ජනත්‍ථාය ගෙහමජ‍්ඣෙ රාසිං කත්‍වා ඨපිතො හොති, තෙ ගහපතිමහාසාලා නාම.

තෙවැන්නේ - අඤ්ඤත්‍ර ජරාමරණා ජරා මරණයෙන් මිදුනෙක් නම් නැතැයි කියනු ලැබේ. ඛත්තියමහාසාළා ‘ඛත්තිය මහාසාළ’ නම් මහාසාර බවට පත් වූ ක්‍ෂත්‍රියයෝ ය. යම් ක්‍ෂත්‍රිය කෙනෙකුගේ අව ම වශයෙන් කෝටි සියයක් නිදන් ගත ව තිබේ ද, කහවනු කළ තුනක් පාවිච්චිය සඳහා ගේ මැද රැස් කොට තබා තිබේ ද, ඔවුහු “ක්‍ෂත්‍රිය” මහාසාළ නමි. යම් බ්‍රාහ්මණ කෙනෙකුගේ අසූකෙළක් ධනය නිදන් කොට තිබේ ද, කහවණු කළ දෙක හමාරක් ප්‍රයෝජනය සඳහා ගෙහි මැද රැස් කොට තබා තිබේ ද, ඔවුහු බ්‍රාහ්මණ මහාසාළ නම් වේ. යම් ගෘහපති කෙනෙකුගේ සතළිස් කෙළක් ධනය නිදන් කොට තිබේ ද, කහවණු කළයක් ප්‍රයෝජනය පිණිස ගෙහි මැද රැස් කොට තබා තිබේ ද, ඔවුහු ගෘහපති මහාසාළ නමි.

අඩ‍්ඪාති ඉස‍්සරා. නිධානගතධනස‍්ස මහන‍්තතාය මහද‍්ධනා. සුවණ‍්ණරජතභාජනාදීනං උපභොගභණ‍්ඩානං මහන‍්තතාය මහාභොගා. අනිධානගතස‍්ස ජාතරූපරජතස‍්ස පහූතතාය, පහූතජාතරූපරජතා. විත‍්තූපකරණස‍්ස තුට‍්ඨිකරණස‍්ස පහූතතාය පහූතවිත‍්තූපකරණා. ගොධනාදීනඤ‍්ච සත‍්තවිධධඤ‍්ඤානඤ‍්ච පහූතතාය පහූතධනධඤ‍්ඤා. තෙසම‍්පි ජාතානං නත්‍ථි අඤ‍්ඤත්‍ර ජරාමරණාති තෙසම‍්පි එවං ඉස‍්සරානං ජාතානං නිබ‍්බත‍්තානං නත්‍ථි අඤ‍්ඤත්‍ර ජරාමරණා, ජාතත‍්තායෙව ජරාමරණතො මොක‍්ඛො නාම නත්‍ථි, අන‍්තොජරාමරණෙයෙව හොති.

අඩ්ඪා ඉසුරුමත් වූවෝ; නිදන්ගත ධනය මහත් බැවින් මහද්ධනා; රන් රිදී භාජන ආදී උපභෝග භාණ්ඩවල මහත් බැවින් මහාභෝගා, නිදන් ගත නො වූ රන් රිදීවල අධික බැවින් පහූතවිත්තූකරණා; ගව ධන ආදියෙන් සප්තවිධ ධාන්‍යයන්ගෙන් මහත් බැවින් පහූත ධනධඤ්ඤා; තෙසම්පි ජාතානං නත්‍ථි අඤ්ඤත්‍ර ජරාමරණා එසේ ඉසුරුමත් බවින් යුතු ව උපන්නවුන් පවා ජරාමරණයෙන් නො තොර ය; හටගත් බව නිසා ම ජරා මරණයෙන් මිදීමක් නම් නැත. අන්තය ජරා මරණයෙහි ම වේ.

අරහන‍්තොතිආදීසු ආරකා කිලෙසෙහීති අරහන‍්තො. ඛීණා එතෙසං චත‍්තාරො ආසවාති ඛීණාසවා. බ්‍රහ‍්මචරියවාසං වුට‍්ඨා පරිනිට‍්ඨිතවාසාති වුසිතවන‍්තො. චතූහි මග‍්ගෙහි කරණීයං එතෙසං කතන‍්ති කතකරණීයා. ඛන්‍ධභාරො කිලෙසභාරො අභිසඞ‍්ඛාරභාරො කාමගුණභාරොති, ඉමෙ ඔහිතා භාරා එතෙසන‍්ති ඔහිතභාරා. අනුප‍්පත‍්තො අරහත‍්තසඞ‍්ඛාතො සකො අත්‍ථො එතෙසන‍්ති අනුප‍්පත‍්තසදත්‍ථා. දසවිධම‍්පි පරික‍්ඛීණං භවසංයොජනං එතෙසන‍්ති පරික‍්ඛීණභවසංයොජනා. සම‍්මා කාරණෙහි ජානිත්‍වා විමුත‍්තාති සම‍්මදඤ‍්ඤාවිමුත‍්තා. මග‍්ගපඤ‍්ඤාය චතුසච‍්චධම‍්මං ඤත්‍වා ඵලවිමුත‍්තියා විමුත‍්තාති අත්‍ථො. භෙදනධම‍්මොති භිජ‍්ජනසභාවො. නික‍්ඛෙපනධම‍්මොති නික‍්ඛිපිතබ‍්බසභාවො. ඛීණාසවස‍්ස හි අජීරණධම‍්මොපි අත්‍ථි, ආරම‍්මණතො පටිවිද‍්ධං නිබ‍්බානං, තං හි න ජීරති. ඉධ පනස‍්ස ජීරණධම‍්මං දස‍්සෙන‍්තො එවමාහ. අත්‍ථුප‍්පත‍්තිකො කිරස‍්ස සුත‍්තස‍්ස නික‍්ඛෙපො. සිවිකසාලාය නිසීදිත්‍වා කථිතන‍්ති වදන‍්ති. තත්‍ථ භගවා චිත්‍රානි රථයානාදීනි දිස‍්වා දිට‍්ඨමෙව උපමං කත්‍වා, “ජීරන‍්ති වෙ රාජරථා”ති ගාථමාහ.

‘අරහන්තො’ ආදියෙහි කෙළෙස්වලින් දුරු වූහ යි = අරහන්තො; ඔවුන්ගේ ආසව සතර ක්ෂීණ ය යි = ඛීණාසවා; බ්‍රහ්මචරිය වාසය වසන ලද්දේ ය, අවසන් කරන ලද (බ්‍රහ්මචර්ය) වාස ඇතැයි = වුසිතවන්තො; මාර්ග සතරින් ඔවුන් කළ යුතු දේ කරන ලදැයි = කතකරණීයා; ස්කන්‍ධභාර, ක්ලේශ භාර, අභිසංස්කාර භාර, කාම ගුණ භාර යන මේවා ඔවුන් බහා තැබූ බර බැවින් = ඔහිතභාරා මොවුන් අරහත්ව සංඛ්‍යාත වූ ස්වකීය අර්ථයට පැමිණ ඇතැයි = අනුප්පත්තසදත්‍ථා; සහමුලින් ම ක්ෂය කළ දශවිධ වූ ම භවසංයෝජන ඔවුනට ඇතැයි = පරික්‍ඛීණභවසංයොජනා; සම්‍යක් කාරණාවලින් දැන විමුක්ත වූවෝ යි = සම්මදඤ්ඤාවිමුත්තො, මාර්ග ප්‍රඥාවෙන් සතර සත්‍යය දැන ඵල විමුක්තියෙන් විමුක්ත වූවෝ ය යන අර්ථය යි. භෙදනධම්මො බිඳෙන ස්වභාවය; නික්‍ඛෙපන ධම්මො බැහැර වීමේ ස්වභාවය, බැහැර ලිය යුතු ස්වභාවය ක්ෂීණාශ්‍රවයා හට නො දිරන ස්වභාවයක් ද ඇත. ආරම්මණයෙන් ප්‍රතිවේධ කළ නිර්වාණය, එය නො දිරයි. මෙහි වනාහි දිරන ස්වභාවය දක්වමින් මෙසේ කී ය. මේ සූත්‍රයෙහි සාරාංශය හේතුවක් ඇති ව උපන් එකකි. රන්සිවිගේ ශාලාවෙහි හිඳ වදාරන ලදැයි කියති. එහි භාග්‍යවතුන් වහන්සේ විසිතුරු රථ යාන ආදිය දැක, දුටු දේ ම උපමා කොට “ජීරන්ති වෙ රාජරථා සුචිත්තා” යන ගාථාව වදාළ සේක.

තත්‍ථ ජීරන‍්තීති ජරං පාපුණන‍්ති. රාජරථාති රඤ‍්ඤො අභිරූහනරථා. සුචිත‍්තාති සුවණ‍්ණරජතාදීහි සුට‍්ඨු චිත‍්තිතා. අථො සරීරම‍්පි ජරං උපෙතීති එවරූපෙසු අනුපාදිණ‍්ණකෙසු සාරදාරුමයෙසු රථෙසු ජීරන‍්තෙසු ඉමස‍්මිං අජ‍්ඣත‍්තිකෙ උපාදිණ‍්ණකෙ මංසලොහිතාදිමයෙ සරීරෙ කිං වත‍්තබ‍්බං? සරීරම‍්පි ජරං උපෙතියෙවාති අත්‍ථො. සන‍්තො හවෙ සබ‍්භි පවෙදයන‍්තීති සන‍්තො සබ‍්භීහි සද‍්ධිං සතං ධම‍්මො න ජරං උපෙතීති එවං පවෙදයන‍්ති. “සතං ධම‍්මො නාම නිබ‍්බානං, තං න ජීරති, අජරං අමතන‍්ති එවං කථෙන‍්තී”ති අත්‍ථො. යස‍්මා වා නිබ‍්බානං ආගම‍්ම සීදනසභාවා කිලෙසා භිජ‍්ජන‍්ති, තස‍්මා තං සබ‍්භීති වුච‍්චති. ඉති පුරිමපදස‍්ස කාරණං දස‍්සෙන‍්තො “සන‍්තො හවෙ සබ‍්භි පවෙදයන‍්තී”ති ආහ. ඉදං හි වුත‍්තං හොති – සතං ධම‍්මො න ජරං උපෙති, තස‍්මා සන‍්තො සබ‍්භි පවෙදයන‍්ති. අජරං නිබ‍්බානං සතං ධම‍්මොති ආචික‍්ඛන‍්තීති අත්‍ථො. සුන්‍දරාධිවචනං වා එතං සබ‍්භීති. යං සබ‍්භිධම‍්මභූතං නිබ‍්බානං සන‍්තො පවෙදයන‍්ති කථයන‍්ති, සො සතං ධම‍්මො න ජරං උපෙතීතිපි අත්‍ථො.

එහි ජීරන්ති ජරාවට පමුණුවත්, රාජරථා රජුගේ රථ, සුචිත්තා රන්රිදී ආදියෙන් මැනවින් චිත්‍ර කළ (විසිතුරු කළ); අථො සරීරම්පි ජරං උපෙති මේ ආකාරයේ අනුපාදින්න වූ අරටු සහිත දැවවිලින් තැනූ රථ දිරන කල්හි මේ ආධ්‍යාත්මික වූ, උපාදින්න වූ මස් ලේ ආදියෙන් සැදුණු ශරීරය ගැන කුමක් කිව යුතු ද? ශරීරය ද ජරාවට පැමිණේම ය යන අරුත යි. සන්තො හවෙ සබ්භි පවෙදයන්ති සත් පුරුෂයෝ සත්පුරුෂයන් සමඟ සත්පුරුෂයන්ගේ ධර්මය ජරාවට (දිරීමට) නො පැමිණෙතියි මෙසේ ප්‍රකාශ කරත්; සත්පුරුෂයන්ගේ ධර්මය නම් නිර්වාණය යි. එය නො දිරයි. අජර ය, අමර ය යි මෙසේ කියති යනු අර්ථ යි. යම් හෙයකින් නිර්වාණයට පැමිණ පෙළන ස්වභාව ඇති කෙළෙස් බිඳෙත් ද එබැවින් එය ‘සබ්භි’ යි කියනු ලැබේ. මෙසේ මුල් පදයේ කාරණය පෙන්වන සේක් “සන්තො හවෙ සබ්භි පවෙදයන්ති” යි කී සේක. කියන ලද්දේ මෙයයි: උතුමන්ගේ ධර්මය ජරාවට නො පැමිණේ. එහෙයින් සත්පුරුෂයෝ උතුම් ධර්මය යි ප්‍රකාශ කරත් ම ය. අජර වූ නිර්වාණය සත්පුරුෂයන්ගේ ධර්මය යි ප්‍රකාශ කරති යනු අර්ථය යි. ‘සබ්භි’ යනු සුන්දර යන්නට සමාන වචනයක් හෝ වේ. සත්පුරුෂයෝ ධර්ම භූත වූ යම් සුන්දර නිර්වාණයක් ප්‍රකාශ කරත් ද, කියත් ද, සත්පුරුෂයන්ගේ ඒ ධර්මය ජරාවට නො පැමිණේ යනු ද අර්ථ වේ.

තතියං.

තුන් වැනි සූත්‍රය යි.

4. පියසුත‍්තවණ‍්ණනා

4. පිය සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ රහොගතස‍්සාති රහසි ගතස‍්ස. පටිසල‍්ලීනස‍්සාති නිලීනස‍්ස එකීභූතස‍්ස. එවමෙතං, මහාරාජාති ඉධ භගවා ඉමං සුත‍්තං සබ‍්බඤ‍්ඤුභාසිතං කරොන‍්තො ආහ. අන‍්තකෙනාධිපන‍්නස‍්සාති මරණෙන අජ‍්ඣොත්‍ථටස‍්ස.

සතර වැන්නේ - රහොගතස්ස රහසිගත වූ; පටිසල්ලානස්ස මුවා වූ (සැඟවුණු) හුදෙකලා වූ එවමෙතං මහාරාජ මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය බුද්ධ භාෂිතයක් කරමින් වදාළ සේක. අන්තකෙනාධිපන්නස්ස මරණයෙන් අභිභවනය කරනු ලැබූවහුගේ.

චතුත්‍ථං.

සතර වැනි සූත්‍රය යි.

5. අත‍්තරක‍්ඛිතසුත‍්තවණ‍්ණනා

5. අත්තරක්ඛිත සූත්‍ර වර්ණනාව

පඤ‍්චමෙ හත්‍ථිකායොති හත්‍ථිඝටා. සෙසෙසුපි එසෙව නයො. සංවරොති පිදහනං. සාධු සබ‍්බත්‍ථ සංවරොති ඉමිනා කම‍්මපථභෙදං අපත‍්තස‍්ස කම‍්මස‍්ස සංවරං දස‍්සෙති. ලජ‍්ජීති හිරිමා. ලජ‍්ජීගහණෙන චෙත්‍ථ ඔත‍්තප‍්පම‍්පි ගහිතමෙව හොති.

පස් වැන්නේ - හත්‍ථිකායො ඇත් මුළ (රංචුව); ඉතිරි ඒවා ද මේ න්‍යාය ම ය. සංවරො වැසීම (ආවරණය කිරීම); සාධු සබ්බත්‍ථ සංවරො මෙයින් කර්ම පථ වර්ගයට නො පැමිණි කර්මයේ සංවරය පෙන්වයි. ලජ්ජි හිරි (ලජ්ජාව) ඇත්තේ, “ලජ්ජි” යි ගැනීමෙන් මෙහි ඔත්තප්පය ද ගන්නා ලද්දේ ම වේ.

පඤ‍්චමං.

පස් වැනි සූත්‍රය යි.

6. අප‍්පකාසුත‍්තවණ‍්ණනා

6. අප්පකා සූත්‍ර වර්ණනාව

ඡට‍්ඨෙ උළාරෙ උළාරෙති පණීතෙ ච බහුකෙ ච. මජ‍්ජන‍්තීති මානමජ‍්ජනෙන මජ‍්ජන‍්ති. අතිසාරන‍්ති අතික‍්කමං. කූටන‍්ති පාසං. පච‍්ඡාසන‍්ති පච‍්ඡා තෙසං.

සය වැන්නේ - උළාරෙ උළාරෙ ප්‍රණීත වූ ද බොහෝ වූ ද මජ්ජන්ති මාන මත්වීමෙන් මත් වෙත්. අතිසාරං ඉක්මවා යාම, කුටං පාශය (උගුල) පච්ඡාසං ‘පච්ඡා තෙසං’ (පසු ව ඔවුන්ට).

ඡට‍්ඨං.

හය වැනි සූත්‍රය යි.

7. අත්‍ථකරණසුත‍්තවණ‍්ණනා

7. අත්ථකරණ සූත්‍ර වර්ණනාව

සත‍්තමෙ කාමහෙතූති කාමමූලකං. කාමනිදානන‍්ති කාමපච‍්චයා. කාමාධිකරණන‍්ති කාමකාරණා. සබ‍්බානි හෙතානි අඤ‍්ඤමඤ‍්ඤවෙවචනානෙව. භද්‍රමුඛොති සුන්‍දරමුඛො. එකදිවසං කිර රාජා අඩ‍්ඩකරණෙ නිසීදි. තත්‍ථ පඨමතරං ලඤ‍්ජං ගහෙත්‍වා නිසින‍්නා අමච‍්චා අස‍්සාමිකෙපි සාමිකෙ කරිංසු. රාජා තං ඤත්‍වා – “මය‍්හං තාව පථවිස‍්සරස‍්ස සම‍්මුඛාපෙතෙ එවං කරොන‍්ති, පරම‍්මුඛා කිං නාම න කරිස‍්සන‍්ති? පඤ‍්ඤායිස‍්සති දානි විටටූභො සෙනාපති සකෙන රජ‍්ජෙන, කිං මය‍්හං එවරූපෙහි ලඤ‍්ජඛාදකෙහි මුසාවාදීහි සද‍්ධිං එකට‍්ඨානෙ නිසජ‍්ජායා”ති චින‍්තෙසි. තස‍්මා එවමාහ. ඛිප‍්පංව ඔඩ‍්ඩිතන‍්ති කුමිනං විය ඔඩ‍්ඩිතං. යථා මච‍්ඡා ඔඩ‍්ඩිතං කුමිනං පවිසන‍්තා න ජානන‍්ති, එවං සත‍්තා කිලෙසකාමෙන වත්‍ථුකාමං වීතික‍්කමන‍්තා න ජානන‍්තීති අත්‍ථො.

සත් වැන්නේ - ඊ කාම මූලක වූ; කාමනිදානං කාම හේතුවෙන්; කාමාධිකරණං කාමය කරුණු කොට ගෙන, මේ සියල්ල අන්‍යොන්‍ය සමානාර්ථ වාචී ම ය. භද්‍රමුඛො සොඳුරු මුව ඇත්තෙක්; එක් දිනක් රජතුමා නඬු විසඳීමෙහි හුන්නේ ය (යෙදී සිටියේ ය). එහිදී මුලින් ම අල්ලස් ගෙන සිටි අමාත්‍යවරු අස්වාමික වූවන් (අයිතිකරුවන් නො වූ අය) පවා අයිතිකරුවන් කළහ. රජතුමා එය දැන, පෘථිවීශ්වර වූ මා ඉදිරිපිට දී පවා මොවුහු මෙසේ කරති, නැති තැන කුමක් නම් නො කරත් ද? දැන් පැහැදිලි වන්නේ ය. භවත් සේනාපතිය, සිය (ඔබගේ) බලය යොදා (මෙය) ශුද්ධ කරව. මේ ආකාරයේ අල්ලස් ගන්නා මුසාවාදීන් සමග එක් ව හිඳීමෙන් මට කිම? යි සිතී ය. එහෙයින් මෙසේ කී ය. ඛිපංව ඔඩ්ඩිතං දමන ලද (අටවන ලද) කෙමනට මෙන්; මත්ස්‍යයෝ යම් සේ අටවන ලද කෙමනට පිවිසෙන්නෝ (ඒ බැව්) නො දනිත් ද එසේ ම සත්ත්වයෝ ක්ලේශකාමයෙන් වස්තුකාමය ඉක්ම වන්නෝ (ඒ බැව්) නො දනිත් යනු අරුත යි.

සත‍්තමං.

සත් වැනි සූත්‍රය යි.

8. මල‍්ලිකාසුත‍්තවණ‍්ණනා

8. මල්ලිකා සූත්‍ර වර්ණනාව

අට‍්ඨමෙ අත්‍ථි නු ඛො තෙ මල‍්ලිකෙති කස‍්මා පුච‍්ඡති? අයං කිර මල‍්ලිකා දුග‍්ගතමාලාකාරස‍්ස ධීතා, එකදිවසං ආපණතො පූවං ගහෙත්‍වා “මාලාරාමං ගන‍්ත්‍වාව ඛාදිස‍්සාමී”ති ගච‍්ඡන‍්තී පටිපථෙ භික‍්ඛුසඞ‍්ඝපරිවාරං භගවන‍්තං භික‍්ඛාචාරං පවිසන‍්තං දිස‍්වා පසන‍්නචිත‍්තා තං භගවතො අදාසි. සත්‍ථා නිසීදනාකාරං දස‍්සෙසි. ආනන්‍දත්‍ථෙරො චීවරං පඤ‍්ඤාපෙත්‍වා අදාසි. භගවා තත්‍ථ නිසීදිත්‍වා තං පූවං පරිභුඤ‍්ජිත්‍වා මුඛං වික‍්ඛාලෙත්‍වා සිතං පාත්‍වාකාසි. ථෙරො “ඉමිස‍්සා, භන‍්තෙ, කො විපාකො භවිස‍්සතී”ති පුච‍්ඡි. ආනන්‍ද, අජ‍්ජෙසා තථාගතස‍්ස පඨමභොජනං අදාසි, අජ‍්ජෙව කොසලරඤ‍්ඤො අග‍්ගමහෙසී භවිස‍්සතීති. තංදිවසමෙව ච රාජා කාසිගාමෙ භාගිනෙය්‍යෙන යුද‍්ධෙන පරාජිතො පලායිත්‍වා නගරං ආගච‍්ඡන‍්තො මාලාරාමං පවිසිත්‍වා බලකායස‍්ස ආගමනං ආගමෙසි. තස‍්ස සා වත‍්තං අකාසි. සො තාය වත‍්තෙ පසීදිත්‍වා තං අන‍්තෙපූරං අතිහාරාපෙත්‍වා තං අග‍්ගමහෙසිට‍්ඨානෙ ඨපෙසි.

අට වැන්නේ - අත්‍ථි නු ඛො තෙ මල්ලිකෙ කුමක් නිසා විමසයි ද? මේ මල්ලිකා දුප්පත් මල්කරුවකුගේ දියණියකි. එක් දවසක් වෙළඳ සැලෙන් කැවුමක් ගෙන මාලා සාදන තැනට ම ගොස් කන්නෙමැයි යන්නී අතර මග භික්ෂු සංඝයා පිරිවරා ගත් භාග්‍යවතුන් වහන්සේ භික්ෂාවෙහි යෙදෙමින් පිවිසෙනු දැක ප්‍රසන්න සිත් ඇත්තී භාග්‍යවතුන් වහන්සේට පිරිනැමුවා ය. බුදුහු හිඳිනාකාරය දැක්වූහ. ආනන්ද තෙරණුවෝ සිවුරක් පණවා දුන්හ. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩ හිඳ ඒ කැවුම වළඳා මුව සෝදා සිනා පහළ කළ සේක. තෙරුන් වහන්සේ ස්වාමීනි, මැයට කුමන විපාකයක් වන්නේ දැයි විමසූහ. ආනන්ද අද මැය තථාගතයන් වහන්සේ වහන්සේට ප්‍රථම භෝජනය දුන්නා ය. අද ම කොසෙල් රජුගේ අග මෙහෙසිය වන්නී ය. එදින ම රජතුමා කාසි ග්‍රාමයෙහි බෑණනුවන් හා කරන ලද යුද්ධයෙන් පරාජිත වී පළා ගොස් නුවරට එන්නේ මල් මාලා සාදන තැනට ඇතුළු වී හමුදාවේ පැමිණීම බලාපොරොත්තු විය. ඈ ඔහුට වතාවත් කළා ය. ඔහු ඇගේ වතාවතින් පැහැදී ඇය අන්තඃ පුරයට ගෙන්වාගෙන අග මෙහෙසි තනතුරේ පිහිටුවී ය.

අථෙකදිවසං චින‍්තෙසි – “මයා ඉමිස‍්සා දුග‍්ගතකුලස‍්ස ධීතුයා මහන‍්තං ඉස‍්සරියං දින‍්නං, යංනූනාහං ඉමං පුච‍්ඡෙය්‍යං ‘කො තෙ පියො’ති? සා ‘ත්‍වං මෙ, මහාරාජ, පියො’ති වත්‍වා පුන මං පුච‍්ඡිස‍්සති. අථස‍්සාහං ‘මය‍්හම‍්පි ත්‍වංයෙව පියා’ති වක‍්ඛාමී”ති. ඉති සො අඤ‍්ඤමඤ‍්ඤං විස‍්සාසජනනත්‍ථං සම‍්මොදනීයං කථං කථෙන‍්තො පුච‍්ඡති. සා පන දෙවී පණ‍්ඩිතා බුද‍්ධුපට‍්ඨායිකා ධම‍්මුපට‍්ඨායිකා සඞ‍්ඝුපට‍්ඨායිකා මහාපඤ‍්ඤා, තස‍්මා එවං චින‍්තෙසි – “නායං පඤ‍්හො රඤ‍්ඤො මුඛං ඔලොකෙත්‍වා කථෙතබ‍්බො”ති. සා සරසෙනෙව කථෙත්‍වා රාජානං පුච‍්ඡි. රාජා තාය සරසෙන කථිතත‍්තා නිවත‍්තිතුං අලභන‍්තො සයම‍්පි සරසෙනෙව කථෙත්‍වා “සකාරණං ඉදං, තථාගතස‍්ස නං ආරොචෙස‍්සාමී”ති ගන‍්ත්‍වා භගවතො ආරොචෙසි.

ඉක්බිති එක් දිනක් මෙසේ සිතී ය. “මා විසින් මේ දුප්පත් කුලයක දියණියට මහත් ඉසුරු දෙන ලදි. කවරෙක් ඔබට ප්‍රිය වේ ද යි මැයගෙන් මම විමසන්නෙම් නම් මැනවි. ඇය “මහරජ ඔබ මට ප්‍රියයි” කියා යළි මා විමසයි. එවිට මම “මට ද ඔබ ම ප්‍රියයි” යි ඇයට කියමි’යි. මෙසේ ඔවුහු එකිනෙකාට විශ්වාස ඇති කර ගනු පිණිස සම්මෝදනීය කථා පවත්වමින් විමසති. ඒ දේවිය පණ්ඩිත ය, බුදුන්ගේ උපස්ථායිකා ය, ධර්ම උපස්ථායිකා ය, සංඝ උපස්ථායිකා ය, මහා ප්‍රාඥ ය. එහෙයින් මෙසේ සිතුවා ය. “මේ ප්‍රශ්නය රජුගේ මුහුණ දෙස බලා නො විමසිය යුතු ය. එය ඈ රසයෙන් යුතු ව ම කියා රජුගෙන් විමසුවා ය. රජතුමා ඈ විසින් රසයෙන් යුක්ත ව කියන ලද බැවින් නැවැත්වීමක් නො ලබන්නේ තමාත් රසයෙන් යුතු ව කියා යහපත් වූ මෙය තථාගතයන් වහන්සේට දන්වන්නෙමි යි ගොස් පැවසී ය.

නෙවජ‍්ඣගාති නාධිගච‍්ඡති. එවං පියො පුථු අත‍්තා පරෙසන‍්ති යථා එකස‍්ස අත‍්තා පියො, එවං පරෙසං පුථුසත‍්තානම‍්පි අත‍්තා පියොති අත්‍ථො.

නෙවජ්ඣගා නො ලබයි. එවං පියො පුථු අත්තා පරෙසං යම් යම් සේ කෙනෙකුට තමා ප්‍රිය ද එසේ ම අන් බොහෝ සත්ත්වයනට ද තමා ප්‍රිය වන්නේ ය යන තේරුම යි.

අට‍්ඨමං.

අට වැනි සූත්‍රය යි.