යෙදුමෙන් කියවන්න

2. ධම‍්මකථිකවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

2. ධම්මකථික වර්ගය

1-2. අවිජ‍්ජා සුත‍්තාදිවණ‍්ණනා

1-2. අවිජ්ජා ආදි සූත්‍ර වර්ණනා

ධම‍්මකථිකවග‍්ගස‍්ස පඨමෙ එත‍්තාවතා ච අවිජ‍්ජාගතො හොතීති යාවතා ඉමාය චතූසු සච‍්චෙසු අඤ‍්ඤාණභූතාය අවිජ‍්ජාය සමන‍්නාගතො, එත‍්තාවතා අවිජ‍්ජාගතො හොතීති අත්‍ථො. දුතියෙපි එසෙව නයො. පඨමදුතියානි.

ධර්මකථික වර්ගයේ පළමු සූත්‍රයේ - “එත්තාවතාච අවිජ්ජාගතො හොති” යනු යම්තාක් කල් මේ චතුරාර්ය සත්‍යයන් නොදැන සිටිද්ද, අවිද්‍යාවෙන් යුක්තව සිටිද්ද ඒ තාක් කාලය “අවිද්‍යාගත” වේයැයි යන අර්ථයයි. දෙවැනි සූත්‍රයේ ද මේ ක්‍රමයමයි.

3. පඨම ධම‍්මකථිකසුත‍්තවණ‍්ණනා

3. පඨම ධම්ම කථික සූත්‍ර වර්ණනාව

තතියෙ පඨමෙන ධම‍්මකථිකො, දුතියෙන සෙඛභූමි, තතියෙන අසෙඛභූමීති එවං ධම‍්මකථිකං පුච‍්ඡිතෙන විසෙසෙත්‍වා ද‍්වෙ භූමියො කථිතා. තතියං.

තෙවැනි සූත්‍රයේ - පළමුව ධර්ම කථිකයා ද, දෙවැනිව සේඛ භූමිය ද, තෙවැනිව අසේඛ භූමියදැයි මෙසේ ධර්මකථික භික්‍ෂුවකගේ ප්‍රශ්නයක් නිසා විශේෂ කර දක්වා දෙවැදෑරුම් භූමියෝ කියන ලදී.

4. දුතිය ධම‍්මකථික සුත‍්තවණ‍්ණනා

4. දුතිය ධම්ම කථික සූත්‍ර වර්ණනාව

චතුත්‍ථෙ තිස‍්සන‍්නම‍්පි පුච‍්ඡානං තීණි විස‍්සජ‍්ජනානි කථිතානි.

සිවුවැනි සූත්‍රයේ - ත්‍රිවිධ ප්‍රශ්නයන්ගේ ත්‍රිවිධ පිළිතුරු දෙසන ලදී.

චතුත්‍ථං.

සිවුවන සූත්‍රය

5-9. බන්‍ධන සුත‍්තාදිවණ‍්ණනා

5-9. බන්ධන ආදි සූත්‍ර වර්ණනා

පඤ‍්චමෙ අතීරදස‍්සීති තීරං වුච‍්චති වට‍්ටං, තං න පස‍්සති. අපාරදස‍්සීති පාරං වුච‍්චති නිබ‍්බානං, තං න පස‍්සති. බද‍්ධොති කිලෙසබන්‍ධනෙන බද‍්ධො හුත්‍වා ජීයති ච මීයති ච අස‍්මා ලොකා පරං ලොකං ගච‍්ඡතීති. ඉමස‍්මිං සුත‍්තෙ වට‍්ටදුක‍්ඛං කථිතන‍්ති. ඡට‍්ඨාදීනි උත‍්තානත්‍ථානෙව. පඤ‍්චමාදීනි.

පස්වන සූත්‍රයේ “අතීරදස්සී” යන්නෙහි තීරය යනු සංසාරයයි. සසර පැවැත්ම නොදක්නේ යනුයි. “අපාරදස්සී” පරතෙර යනු නිර්වාණයයි. ඒ නිවන නම් පරතෙර නොදකියි. “බද්ධො” යනු කෙලෙස් බැඳුමෙන් බැඳුණු යනුයි. එසේ බැඳී උපදියි. දිරායයි. මියයයි. මෙලොවින් පරලොවට යයි. මේ සූත්‍රයේ සංසාරික පැවතීම් දුක දේශනා කරන ලදී. සයවැනි සූත්‍රයේ සිට අර්ථ ඉතා ප්‍රකටය.

10. සීල සුත‍්තවණ‍්ණනා

10. සීල සූත්‍ර වර්ණනාව

දසමෙ අනිච‍්චතොතිආදීසු හුත්‍වා අභාවාකාරෙන අනිච‍්චතො, පටිපීළනාකාරෙන දුක‍්ඛතො, ආබාධට‍්ඨෙන රොගතො, අන‍්තොදොසට‍්ඨෙන ගණ‍්ඩතො, තෙසං තෙසං ගණ‍්ඩානං පච‍්චයභාවෙන වා ඛණනට‍්ඨෙන වා සල‍්ලතො දුක‍්ඛට‍්ඨෙන අඝතො, විසභාගමහාභූතසමුට‍්ඨානආබාධපච‍්චයට‍්ඨෙන ආබාධතො, අසකට‍්ඨෙන පරතො, පලුජ‍්ජනට‍්ඨෙන පලොකතො, සත‍්තසුඤ‍්ඤතට‍්ඨෙන සුඤ‍්ඤතො, අත‍්තාභාවෙන අනත‍්තතො. එවමෙත්‍ථ “අනිච‍්චතො පලොකතො”ති ද‍්වීහි පදෙහි අනිච‍්චමනසිකාරො, “සුඤ‍්ඤතො අනත‍්තතො”ති ද‍්වීහි අනත‍්තමනසිකාරො, සෙසෙහි දුක‍්ඛමනසිකාරො වුත‍්තොති වෙදිතබ‍්බො. සෙසමෙත්‍ථ උත‍්තානමෙව. දසමං.

දසවන සූත්‍රයේ “අනිච්චතො” ආදියෙහි පැවතී නොපවතින ස්වභාවය “අනිච්චතො” නම් වේ. පෙළීම්-පීඩාවීම් අර්ථයෙන් “දුක්ඛතො” නම් වේ. ආබාධ ඇතිවීම් අර්ථයෙන් “රෝගතො” නම් වේ. ඇතුලත දොස් කිපීම් අර්ථයෙන් “ගණ්ඩතො” නම් වේ. ඒ ඒ ගඬුවල ප්‍රත්‍යභාවයෙන් හෝ කැණීම් අර්ථයෙන් හෝ “සල්ලතො” නම් වේ. දුක යන අර්ථයෙන් “අඝතො” නම් වේ. විෂම වූ මහා භූතයන්ගේ නැගීසිටීම්-ආබාධ ප්‍රත්‍ය වශයෙන් “ආබාධතො” නම් වේ. අනුන්ගේ අර්ථයෙන් “පරතො” නමි. පලුදුවීම්-කැඩීම් අර්ථයෙන් “පලොකතො” නමි. සත්වැදෑරුම් ශුන්‍ය අර්ථයෙන් “සුඤ්ඤතො” නමි. ආත්මයක් නොවීම් අර්ථයෙන් “අනත්තතො” නමි. මෙසේ මෙතැනදී අනිත්‍ය වශයෙන්, පලුදුවීම් වශයෙන් යැයි දෙපදයකින් අනිත්‍යය මෙනෙහි කරයි. ශුන්‍යයය, අනාත්මයැයි දෙපදයෙන් අනාත්මය මෙනෙහි කරයි. සෙසු පදයන්ගෙන් දුක මෙනෙහි කිරීම පවසන ලදැයි දතයුතුයි. සෙසු පදයන්හි විස්තර ප්‍රකටමය.

11. සුතවන‍්ත සුත‍්තවණ‍්ණනා

11. සුතවන්ත සූත්‍ර වර්ණනාව

තථා එකාදසමෙ. දසමස‍්මිඤ‍්හි “සීලවතා”ති චතුපාරිසුද‍්ධිසීලං වුත‍්තං, ඉධ සුතවතාති කම‍්මට‍්ඨානසුතං ඉදමෙව නානාකරණං. එකාදසමං.

එකොළොස්වන සූත්‍රයේද එසේමය. දසවන සූත්‍රයේ “සීලවතා” යනුවෙන් චතුපාරිශුද්ධි ශීලය කියන ලදී. මෙම එකොළොස්වන සූත්‍රයේ “සුතවතා” යනු කමටහන් අසන ලද යනුයි. මෙම සූත්‍ර දෙකෙහි ඇති වෙනස මෙපමණි.

12-13. පඨම කප‍්ප සුත‍්තාදිවණ‍්ණනා

12-13. පඨම කප්ප ආදි සූත්‍ර වර්ණනා

ද‍්වාදසමතෙරසමානි රාහුලොවාදසදිසානෙවාති. ද‍්වාදසමතෙරසමානි.

දොළොස්වන හා දහතුන්වන සූත්‍ර දෙක රාහුලෝවාද සූත්‍රය හා සමානම වේ.

ධම‍්මකථිකවග‍්ගො ද‍්වාදසමො.

දෙවැනි ධර්මකථික වර්ගයයි.