යෙදුමෙන් කියවන්න

සප‍්පාණකවග‍්ගො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

සප්පාණක වර්‍ගය

සඤ‍්චිච‍්චපාණසික‍්ඛාපදවණ‍්ණනා

සඤ්චිච්චපාණ ශික්‍ෂාපද වර්ණනාව

සප‍්පාණකවග‍්ගස‍්ස පඨමසික‍්ඛාපදෙ – ඉස‍්සාසො හොතීති ගිහිකාලෙ ධනුග‍්ගහාචරියො හොති. ජීවිතා වොරොපිතාති ජීවිතා වියොජිතා.

සප්‍රාණක වර්‍ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “ඉස්සාසො හොති,” ගිහිකාලයෙහි ධනුශ්ශිල්පයෙහි දක්‍ෂ ආචාර්‍ය්‍ය වූයේය. “ජීවිතා වොරොපිතා” ජීවිතයෙන් තොරකරන ලද්දාහු,

සික‍්ඛාපදෙපි වොරොපෙය්‍යාති වියොජෙය්‍ය. යස‍්මා පන වොහාරමත‍්තමෙවෙතං; න හෙත්‍ථ කිඤ‍්චි වියොජිතෙ සීසාලඞ‍්කාරෙ සීසං විය ජීවිතා වොරොපිතෙ පාණෙපි ජීවිතං නාම විසුං තිට‍්ඨති, අඤ‍්ඤදත්‍ථු අන‍්තරධානමෙව ගච‍්ඡති, තස‍්මා තමත්‍ථං දස‍්සෙතුං පදභාජනෙ “ජීවිතින්‍ද්‍රියං උපච‍්ඡින්‍දතී”තිආදි වුත‍්තං. ඉමස‍්මිඤ‍්ච සික‍්ඛාපදෙ තිරච‍්ඡානගතොයෙව “පාණො”ති වෙදිතබ‍්බො. තං ඛුද‍්දකම‍්පි මහන‍්තම‍්පි මාරෙන‍්තස‍්ස ආපත‍්තිනානාකරණං නත්‍ථි. මහන‍්තෙ පන උපක‍්කමමහන‍්තත‍්තා අකුසලමහත‍්තං හොති. පාණෙ පාණසඤ‍්ඤීති අන‍්තමසො මඤ‍්චපීඨං සොධෙන‍්තො මඞ‍්ගුලබීජකෙපි පාණසඤ‍්ඤී නික‍්කාරුණිකතාය තං භින්‍දන‍්තො අපනෙති, පාචිත‍්තියං. තස‍්මා එවරූපෙසු ඨානෙසු කාරුඤ‍්ඤං උපට‍්ඨපෙත්‍වා අප‍්පමත‍්තෙන වත‍්තං කාතබ‍්බං. සෙසං මනුස‍්සවිග‍්ගහෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං සද‍්ධිං සමුට‍්ඨානාදීහීති.

ශික්‍ෂාපදයෙහිද, “වොරොපෙය්‍ය” තොරකරන්නේය. යම්හෙයකින් මෙය ව්‍යවහාර මාත්‍රයෙක්ම වේද, එහෙයිනි. මෙහි ශීර්‍ෂාභරණ වෙන් කළ කල්හි හිස මෙන් ප්‍රාණියකු ජීවිතයෙන් තොර කළ කල්හි ජීවිතය නම් වෙන්ව නොසිටියි. එකාන්තයෙන් අතුරුදහන් වීමටම යයි. එහෙයින් ඒ අර්‍ත්‍ථය දක්වනු පිණිස පදභාජනයෙහි “ජිවිතින්‍ද්‍රියං උපච්ඡින්‍දති” යනාදිය වදාරන ලදී. මේ ශික්‍ෂාපදයෙහි තිරිසන් තැනැත්තේම “පාණ”යි දතයුතුය. ඒ ප්‍රාණිතෙමේ කුඩාවූයේද, මහත්වූයේද, මරණ මහණහුට වන ඇවතෙහි වෙනසෙක් නැත්තේය. මහත්වූ ප්‍රාණීහු කෙරෙහි යොදන උපක්‍රමය මහත් බැවින් අකුසලයෙහි මහත්බව වේ. ‘පාණෙ පාණසඤ්ඤී’ යටත් පිරිසයින් අඳපුටු පිරිසිදු කරනුයේ මකුණු බිජුවටෙක නමුදු ප්‍රාණිය යන හැඟීම් ඇතිව කරුණ රහිත බැවින් එය බිඳිමින් පහ කෙරේද, පාචිත්තිය වේ. එහෙයින් මෙබඳු තන්හි කරුණාව උපදවා අප්‍රමත්ත වූවහු විසින් වත් කටයුතුය. සෙස්ස සමුත්‍ථානාදිය සමග මනුෂ්‍යවිග්‍රහයෙහි කියූ නයින්ම දතයුතුය.

සඤ‍්චිච‍්චපාණසික‍්ඛාපදං පඨමං.

පළමුවන සඤ්චිච්චපාණ ශික්‍ෂාපදයයි.

සප‍්පාණකසික‍්ඛාපදවණ‍්ණනා

සප්පාණක ශික්‍ෂාපද වර්ණනාව

දුතියෙ – සප‍්පාණකන‍්ති යෙ පාණකා පරිභොගෙන මරන‍්ති, තෙහි පාණකෙහි සප‍්පාණකං, තාදිසඤ‍්හි ජානං පරිභුඤ‍්ජතො පයොගෙ පයොගෙ පාචිත‍්තියං. පත‍්තපූරම‍්පි අවිච‍්ඡින්‍දිත්‍වා එකපයොගෙන පිවතො එකා ආපත‍්ති. තාදිසෙන උදකෙන සාමිසං පත‍්තං ආවිඤ‍්ඡිත්‍වා ධොවතොපි තාදිසෙ උදකෙ උණ‍්හයාගුපත‍්තං නිබ‍්බාපයතොපි තං උදකං හත්‍ථෙන වා උළුඞ‍්කෙන වා ගහෙත්‍වා න‍්හායතොපි පයොගෙ පයොගෙ පාචිත‍්තියං. උදකසොණ‍්ඩිං වා පොක‍්ඛරණිං වා පවිසිත්‍වා බහිනික‍්ඛමනත්‍ථාය වීචිං උට‍්ඨාපයතොපි. සොණ‍්ඩිං වා පොක‍්ඛරණිං වා සොධෙන‍්තෙහි තතො ගහිතඋදකං උදකෙයෙව ආසිඤ‍්චිතබ‍්බං. සමීපම‍්හි උදකෙ අසති කප‍්පියඋදකස‍්ස අට‍්ඨ වා දස වා ඝටෙ උදකසණ‍්ඨානකප‍්පදෙසෙ ආසිඤ‍්චිත්‍වා තත්‍ථ ආසිඤ‍්චිතබ‍්බං. “පවට‍්ටිත්‍වා උදකෙ පතිස‍්සතී”ති උණ‍්හපාසාණෙ උදකං නාසිඤ‍්චිතබ‍්බං. කප‍්පියඋදකෙන පන පාසාණං නිබ‍්බාපෙත්‍වා ආසිඤ‍්චිතුං වට‍්ටති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

ද්විතීය ශික්‍ෂාපදයෙහි - “සප්පාණකං” යම් ප්‍රාණිකෙනෙක් පැන් පරිභොගය කරණ කොට මියෙද්ද, ඒ ප්‍රාණීන් කරණකොට සප්‍රාණක වේ. එබඳු ජලය දැන ගනිමින් පරිභොග කරන මහණහුට ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා පාචිත්තිය වේ. පාත්‍රයක් පුරාද නොසිඳ, එක්ම ප්‍රයොගයෙන් බොන මහණහුට එක් ඇවැතක් වේ. එබඳු දියෙන් ආමිස සහිත පාත්‍රයක් කරකවා සෝදන මහණහුටද, එබඳු දියෙහිලා උණු කැඳ පාත්‍රයක් නිවන මහණහුටද, පණුවන් සහිත ඒ දිය අතින් හෝ කෙණිස්සෙන් හෝ ගෙණ නාන මහණහුටද, ප්‍රයොගයක් ප්‍රයොගයක් පාසා පාචිත්තිය වේ. ගල් පොකුණකට හෝ පොකුණකට හෝ පිවිස පිටතට නික්මෙන පිණිස රැල නංවන මහණහුටද, ගල් පොකුණක් හෝ පොකුණක් හෝ පිරිසිදු කරන්නවුන් විසින් ඒ පොකුණෙන් නගාගත් දිය දියෙහිම ඉසිය යුතුය. ලඟ දියක් නැති කල්හි කැපදියට අටක් හෝ දසයක් හෝ පැන්කළ දිය පිහිටා සිටි තැනක වක්කර, එහි වක්කරයුතුය. පෙරැළී දියෙහි වැටෙන්නේයයි රත්වූ ගලෙහි දිය නොවක්කර යුතුය. කැපදියෙන් ගලනිවා වැක් කිරීම වරද නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය.

තිසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති. එත්‍ථ ච පටඞ‍්ගපාණකානං පතනං ඤත්‍වාපි සුද‍්ධචිත‍්තතාය දීපජාලනෙ විය සප‍්පාණකභාවං ඤත්‍වාපි උදකසඤ‍්ඤාය පරිභුඤ‍්ජිතබ‍්බතො පණ‍්ණත‍්තිවජ‍්ජතා වෙදිතබ‍්බාති.

ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි. මෙහිද පළඟැටි පණුවන්ගේ වැටීම දැනද පිරිසිදු සිත් ඇති බැවින් පහන් දැල්වීමෙහි මෙන් පණුවන් සහිත බව දැනද උදකසංඥාවෙන් පරිභොග කටයුතු බැවින් ප්‍රඥප්තිවද්‍යභාවය දතයුතුය.

සප‍්පාණකසික‍්ඛාපදං දුතියං.

දෙවන සප්පාණක ශික්‍ෂාපදයයි.

උක‍්කොටනසික‍්ඛාපදවණ‍්ණනා

උක්කෝටන ශික්‍ෂාපද වර්ණනාව

තතියසික‍්ඛාපදෙ – උක‍්කොටෙන‍්තීති තස‍්ස තස‍්ස භික‍්ඛුනො සන‍්තිකං ගන‍්ත්‍වා “අකතං කම‍්ම”න‍්තිආදීනි වදන‍්තා උච‍්චාලෙන‍්ති; යථාපතිට‍්ඨිතභාවෙන පතිට‍්ඨාතුං න දෙන‍්ති.

තෘතීය ශික්‍ෂාපදයෙහි - “උක්කොටෙන්ති” ඒ ඒ මහණහුගේ සමීපයට ගොස් ‘කර්‍මය නොකරන ලදැ’යි යනාදිය කියමින් මතුකොට, උගුලුවන පිහිටා තුබූ පරිදි පිහිටා සිටීමට නොදෙත්.

යථාධම‍්මන‍්ති යො යස‍්ස අධිකරණස‍්ස වූපසමනාය ධම‍්මො වුත‍්තො, තෙනෙව ධම‍්මෙනාති අත්‍ථො. නිහතාධිකරණන‍්ති නිහතං අධිකරණං; සත්‍ථාරා වුත‍්තධම‍්මෙනෙව වූපසමිතං අධිකරණන‍්ති අත්‍ථො.

“යථා ධම්මං” යම් අධිකරණයක් සංසිඳීම පිණිස යම් ධර්‍මයක් වදාරන ලද්දේ ද, එම ධර්‍මයෙන් යන අර්‍ත්‍ථයි. “නිහතාධිකරණං” සංහිඳුවන ලද අධිකරණය ශාස්තෲන් වහන්සේ විසින් වදාළ ධර්‍මයෙන්ම සංසිඳුවනලද අධිකරණය යන අර්‍ත්‍ථයි.

ධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤීති යෙන කම‍්මෙන තං අධිකරණං වූපසමිතං, තඤ‍්චෙ ධම‍්මකම‍්මං හොති, තස‍්මිං ධම‍්මකම‍්මෙ අයම‍්පි ධම‍්මකම‍්මසඤ‍්ඤී හුත්‍වා යදි උක‍්කොටෙති, පාචිත‍්තියං ආපජ‍්ජතීති අත්‍ථො. එතෙන නයෙන සෙසපදානිපි වෙදිතබ‍්බානි. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරො පන “ඉමෙසං චතුන‍්නං අධිකරණානං කති උක‍්කොටනා”තිආදිනා නයෙන පරිවාරෙ වුත‍්තො. අට‍්ඨකථාසු තං සබ‍්බං ආහරිත්‍වා තස‍්සෙවත්‍ථො වණ‍්ණිතො. මයං පන තං තත්‍ථෙව වණ‍්ණයිස‍්සාම. ඉධ ආහරිත්‍වා වණ‍්ණියමානෙ හි සුට‍්ඨුතරං සම‍්මොහො භවෙය්‍යාති න වණ‍්ණයිම‍්හ. සෙසමෙත්‍ථ උත‍්තානමෙව. තිසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදනන‍්ති.

“ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී” යම් කර්‍මයකින් ඒ අධිකරණය සංසිඳුවන ලද්දේ ද, එය ධර්‍මකර්‍මය වේනම්, ඒ ධර්‍මකර්‍මයෙහි මෙතෙමේද, ධර්‍මකර්‍මසංඥා ඇතිව සංසිඳුවා සිටියේ ඉදින් නැවැත උගුල්වා නම් පාචිත්තියට පැමිණේය යන අර්‍ත්‍ථයි. මේ නයින් සෙසු පදයෝද, දතයුත්තාහුය. මේ මෙහි සඞ්ක්‍ෂෙපය වේ. විස්තරය වනාහි “ඉමෙසං පන චතුත්තං අධිකරණානං කති උක්කොටනා” යනාදි නයින් පරිවාරයෙහි කියන ලද්දේය. අර්‍ත්‍ථකථාවන්හි ඒ සියල්ල ගෙනහැර දක්වා ඒ උක්කොටනයාගේම අර්‍ත්‍ථය වර්‍ණනා කරන ලද්දේය. අපි වනාහි ඒ උක්කොටනයාගේම අර්‍ත්‍ථය වර්‍ණනා කරන ලද්දේය. අපි වනාහි ඒ උක්කොටනය ඒ පරිවාරයෙහිම වර්‍ණනා කරන්නෙමු. මෙතැන්හි ගෙණහැර දක්වා වර්‍ණනා කරනු ලබන කල්හි ඉතා තදින් මුළාබව වන්නේයයි වර්‍ණනා නොකෙළෙමු. මෙහි සෙස්ස ප්‍රකටමය. ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දු:ඛවෙදනයි.

උක‍්කොටනසික‍්ඛාපදං තතියං.

තෙවන උක්කොටන ශික්‍ෂාපදයයි.

දුට‍්ඨුල‍්ලසික‍්ඛාපදවණ‍්ණනා

දුට්ඨුල්ල ශික්‍ෂාපද වර්ණනාව

චතුත්‍ථෙ – දුට‍්ඨුල‍්ලා නාම ආපත‍්තීති එත්‍ථ චත‍්තාරි පාරාජිකානි අත්‍ථුද‍්ධාරවසෙන දස‍්සිතානි, සඞ‍්ඝාදිසෙසාපත‍්ති පන අධිප‍්පෙතා, තං ඡාදෙන‍්තස‍්ස පාචිත‍්තියං. ධුරං නික‍්ඛිත‍්තමත‍්තෙති ධුරෙ නික‍්ඛිත‍්තමත‍්තෙ. සචෙපි ධුරං නික‍්ඛිපිත්‍වා පච‍්ඡා ආරොචෙති, න රක‍්ඛති; ධුරං නික‍්ඛිත‍්තමත‍්තෙයෙව පාචිත‍්තියන‍්ති වුත‍්තං හොති. සචෙ පන එවං ධුරං නික‍්ඛිපිත්‍වා පටිච‍්ඡාදනත්‍ථමෙව අඤ‍්ඤස‍්ස ආරොචෙති, සොපි අඤ‍්ඤස‍්සාති එතෙනුපායෙන සමණසතම‍්පි සමණසහස‍්සම‍්පි ආපත‍්තිං ආපජ‍්ජතියෙව තාව, යාව කොටි න ඡිජ‍්ජති. කදා පන කොටි ඡිජ‍්ජතීති? මහාසුමත්‍ථෙරො තාව වදති – “ආපත‍්තිං ආපන‍්නො එකස‍්ස ආරොචෙති, සො පටිනිවත‍්තිත්‍වා තස‍්සෙව ආරොචෙති; එවං කොටි ඡිජ‍්ජතී”ති. මහාපදුමත්‍ථෙරො පනාහ – “අයඤ‍්හි වත්‍ථුපුග‍්ගලොයෙව. ආපත‍්තිං ආපන‍්නො පන එකස‍්ස භික‍්ඛුනො ආරොචෙති, අයං අඤ‍්ඤස‍්ස ආරොචෙති, සො පටිනිවත‍්තිත්‍වා යෙනස‍්ස ආරොචිතං, තස‍්සෙව ආරොචෙති; එවං තතියෙන පුග‍්ගලෙන දුතියස‍්ස ආරොචිතෙ කොටි ඡින‍්නා හොතී”ති.

චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - “දුට්ඨුල්ලා නාම ආපත්ති” සතර පාරාජිකා අර්‍ත්‍ථද්ධාර වශයෙන් දක්වන ලදී. සඞ්ඝාදිසෙසාපත්තිය මෙහි අදහස් කරන ලදී. ඒ සඞ්ඝාදිසෙසාපත්තිය වසාලන මහණහුට පාචිත්තිය වේ. “ධුරං නික්‍ඛිත්තමත්තෙ” බලාපොරොත්තුව අත්හළ ඇසිල්ලෙහි. ඉදින් සඞ්ඝාදිසෙසය නොකියමි’යි ධුරය නික්‍ෂෙප කොට පසුව ආරොචනය කෙරේද, නොරකියි. අත්හළ ඇසිල්ලෙහිම පාචිත්තියයි කියන ලද්දේ වේ. මෙසේ බලාපොරොත්තුව අත්හැර වසාලනු පිණිසම අනිකක්හට ආරොචනය කෙරේනම් හෙතෙමේද, අනිකක්හටැයි මේ උපායයෙන් මහණුන් සියයක්, මහණුන් දහසක්යි යම්තාක් කෙළවර නොසිඳේද, ඒ තාක් ඇවැතට පැමිණේමය. ‘කවර කලෙක කෙළවර සිඳේද, යත්: මහාසුම්මස්ථවිර තෙමේ වනාහි ‘ඇවැතට පැමිණියේ කිසිවක්හට නො කියවයි එක් මහණක්හට ආරොචනය කරයි. හෙතෙමේ නැවතී ඇවැතට පැමිණි ඔහුටම ආරොචනය කරයි. එසේ ඇති කල්හි කෙළවර සිදේයයි කියයි. මහාපදුම ස්ථවිර තෙමේ ‘මේ වනාහි වස්තුය, පුද්ගල තෙමේම ඇවැතට පැමිණියේ එක් මහණට ‘කිසිවක්හට නො කියවයි ආරොචනය කරයි. මෙතෙමේ අනිකක්හට ආරොචනය කරයි. හෙතෙමේ නැවතී යමකු විසින් මේ මහණහුට සැලකරන ලද්දේ ද, ‘කිසිවක්හට නො කියව’යි ඔහුටම ආරොචනය කරයි. මෙසේ තෙවන පුද්ගලයා විසින් දෙවැන්නහුට සැලකළකල්හි කෙළවර සිඳුනේවේයයි කියයි.

අදුට‍්ඨුල‍්ලං ආපත‍්තින‍්ති අවසෙසෙ පඤ‍්චාපත‍්තික‍්ඛන්‍ධෙ. අනුපසම‍්පන‍්නස‍්ස දුට‍්ඨුල‍්ලං වා අදුට‍්ඨුල‍්ලං වා අජ‍්ඣාචාරන‍්ති එත්‍ථ අනුපසම‍්පන‍්නස‍්ස සුක‍්කවිස‍්සට‍්ඨි ච කායසංසග‍්ගො චාති අයං දුට‍්ඨුල‍්ලඅජ‍්ඣාචාරො නාම. සෙසමෙත්‍ථ උත‍්තානමෙවාති. ධුරනික‍්ඛෙපසමුට‍්ඨානං – කායවාචාචිත‍්තතො සමුට‍්ඨාති, අකිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං , දුක‍්ඛවෙදනන‍්ති.

“අදුට්ඨල්ලං ආපත්තිං” සෙසු පඤ්චොපත්තිස්කන්‍ධ “අනුපසම්පන්නස්ස දුට්ඨුල්ලං වා අදුට්ඨුල්ලං වා අජ්ඣාචාරං” මෙහි අනුපසම්පන්නයකුගේ සුක්කවිසට්ඨිය හා කායසංසග්ගරාගයද යන මෙය දුළුල්වරද නම්වේ. මෙහි සෙස්ස ප්‍රකටමය. ධුරනික්‍ෂෙප සමුත්‍ථානිකය. කායවාචාචිත්තයෙන් හටගනියි. අක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දු:ඛවෙදනයි.

දුට‍්ඨුල‍්ලසික‍්ඛාපදං චතුත්‍ථං.

සිවුවන දුට්ඨුල්ල ශික්‍ෂාපදයයි

ඌනවීසතිවස‍්සසික‍්ඛාපදවණ‍්ණනා

ඌනවීසතිවස්ස ශික්‍ෂාපද වර්ණනාව

පඤ‍්චමසික‍්ඛාපදෙ – අඞ‍්ගුලියො දුක‍්ඛා භවිස‍්සන‍්තීති අක‍්ඛරානි ලිඛන‍්තස‍්ස අඞ‍්ගුලියො දුක‍්ඛා භවිස‍්සන‍්තීති චින‍්තෙසුං. උරස‍්ස දුක‍්ඛොති ගණනං සික‍්ඛන‍්තෙන බහුං චින‍්තෙතබ‍්බං හොති, තෙනස‍්ස උරො දුක‍්ඛො භවිස‍්සතීති මඤ‍්ඤිංසු. අක‍්ඛීනි දුක‍්ඛා භවිස‍්සන‍්තීති රූපසුත‍්තං සික‍්ඛන‍්තෙන කහාපණා පරිවත‍්තෙත්‍වා පරිවත‍්තෙත්‍වා පස‍්සිතබ‍්බා හොන‍්ති, තෙනස‍්ස අක‍්ඛීනි දුක‍්ඛානි භවිස‍්සන‍්තීති මඤ‍්ඤිංසු. ඩංසාදීසු ඩංසාති පිඞ‍්ගලමක‍්ඛිකායො. දුක‍්ඛානන‍්ති දුක‍්ඛමානං. තිබ‍්බානන‍්ති බහලානං. ඛරානන‍්ති තිඛිණානං. කටුකානන‍්ති ඵරුසානං; අමනාපතාය වා කටුකරසසදිසානං. අසාතානන‍්ති අමධුරානං. පාණහරානන‍්ති ජීවිතහරානං.

පඤ්චම ශික්‍ෂාපදයෙහි - “අඞ්ගුලියො දුක්‍ඛා භවිස්සන්ති” අකුරු ලියන්නහුගේ ඇඟිලි පීඩාවට පත් වන්නේයයි සිතූහ. “උරස්සදුක්‍ඛො” ගණිතයෙහි හික්මෙන්නහු විසින් බොහෝ දෙය සිතිය යුතුවේ. එයින් මොහුගේ හෘදය පෙළෙන්නේයයි සිතූහ. “අක්‍ඛිනි දුක්‍ඛා භවිස්සන්ති” රන්කරු සිප්හි හික්මෙන්නහු විසින් කහවණු පෙරළ පෙරළා දැක්ක යුත්තේ වෙයි. එයින් මොහුගේ ඇස් දුකින් පෙළේයයි සිතූහ. ඩංසාදීන් අතුරෙහි “ඩංසා” යනු පිඟුවන් මැස්සෝය. “දුක්‍ඛානං” දුකින් ඉවසිය යුතු වූ. “තිබ්බානං” දැඩිවූ. “ඛරානං” තියුණුවූ. “කටුකානං” පරුෂ වූ. මන නොවඩන බැවින් කුළුරස වැනිවූ. “අසාතානං” නොමිහිරිවූ. “පාණහරානං” දිවි හැරගන්නාවූ

සීමං සම‍්මන‍්නතීති නවං සීමං බන්‍ධති. කුරුන්‍දියං පන උදකුක‍්ඛෙපපරිච‍්ඡින්‍දනෙපි දුක‍්කටං වුත‍්තං. පරිපුණ‍්ණවීසතිවස‍්සොති පටිසන්‍ධිග‍්ගහණතො පට‍්ඨාය පරිපුණ‍්ණවීසතිවස‍්සො; ගබ‍්භවීසොපි හි පරිපුණ‍්ණවීසතිවස‍්සොත්‍වෙව සඞ‍්ඛ්‍යෙ ගච‍්ඡති. යථාහ –

“සීමං සම්මන්නති” අලුත් සීමාවක් බඳියි. කුරුන්‍දියෙහි වනාහි උදකුක්‍ඛෙපය පිරිසිඳීමෙහිද දුක්කටය කියනලදී. “පරිපුණ්ණවීසතිවස්සො” පිළිසිඳ ගැනීම පටන් පිරිපුන් විසිවයස් ඇත්තේ. ගර්‍භවීස තෙමේද පිරිපුන් විසිවයස් ඇත්තේමයි ගිණීමට යන්නේය.

“තෙන ඛො පන සමයෙන ආයස‍්මා කුමාරකස‍්සපො ගබ‍්භවීසො උපසම‍්පන‍්නො හොති. අථ ඛො ආයස‍්මතො කුමාරකස‍්සපස‍්ස එතදහොසි – ‘භගවතා පඤ‍්ඤත‍්තං, න ඌනවීසතිවස‍්සො පුග‍්ගලො උපසම‍්පාදෙතබ‍්බොති. අහඤ‍්චම‍්හි ගබ‍්භවීසො උපසම‍්පන‍්නො. උපසම‍්පන‍්නො නුඛොම‍්හි, නනු ඛො උපසම‍්පන‍්නො’ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. යං භික‍්ඛවෙ මාතුකුච‍්ඡිම‍්හි පඨමං චිත‍්තං උප‍්පන‍්නං, පඨමං විඤ‍්ඤාණං පාතුභූතං තදුපාදාය සාවස‍්ස ජාති. අනුජානාමි, භික‍්ඛවෙ, ගබ‍්භවීසං උපසම‍්පාදෙතු”න‍්ති (මහාව· 124).

එසමයෙහි වනාහි ගැබෙහි හොත් මාස සමග විසිවයස් ඇත්තාවූ කුමාරකාශ්‍යප තෙමේ උපසපන් වූයේ වේ. එකල්හි ආයුෂ්මත් කුමාරකාශ්‍යපහට ‘භාග්‍යවතුන් වහන්සේ විසින් උනුවිසිවයස් ඇති පුද්ගල තෙමේ උපසපන් නොකටයුතුය’යි පනවන ලද්දේය. මමද පිළිසිඳ ගැනීමෙහි පටන් විසිවයස් ඇතියෙම් උපසපන් වූයෙමි. එහෙයින් උපසමපන් වූයෙම්ද, උපසපන් නොවූයෙම්දැ’යි මෙබඳු සිතෙක් වූයේය. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැලකළහ. ‘මහණෙනි’ මවුකුසෙහි යම් පළමු සිතෙක් උපන්නේද, ප්‍රථම විඥානයෙක් පහළ වූයේද, එතැන් පටන් ඔහුගේ ඕ ම ජාතිය වන්නීය. මහණෙනි’ පිළිසිඳ ගැනීමෙහි පටන් විසිවයස් ඇත්තහු උපසපන් කරන්නට අනුදනිමි’යි වදාළසේක.

තත්‍ථ යො ද‍්වාදසමාසෙ මාතුකුච‍්ඡිස‍්මිං වසිත්‍වා මහාපවාරණාය ජාතො, සො තතො පට‍්ඨාය යාව එකූනවීසතිමෙ වස‍්සෙ මහාපවාරණා, තං අතික‍්කමිත්‍වා පාටිපදෙ උපසම‍්පාදෙතබ‍්බො. එතෙනුපායෙන හායනවඩ‍්ඪනං වෙදිතබ‍්බං.

එහි යමෙක්, දොළොස් මසක් මවුකුස වැස වප්මස මහා පවුරුනු දිනයෙහි උපන්නේද, හෙතෙමේ එතැන් පටන් එකුන් විසිවන වසෙහි වප්මස පුන්පොහොයෙහි යම්තාක් මහාපවාරණය වේද, ඒ දිනය ඉක්මවා පෑළවිය දිනයෙහි උපසපන් කටයුතුය. මේ උපායයෙන් ගර්‍භමාසය වැඩිවූ කල්හි පිරිහෙළීමද අඩුවූ කල්හි වැඩීමද දතයුතුය.

පොරාණකත්‍ථෙරා පන එකූනවීසතිවස‍්සං සාමණෙරං නික‍්ඛමනීයපුණ‍්ණමාසිං අතික‍්කම‍්ම පාටිපදදිවසෙ උපසම‍්පාදෙන‍්ති, තං කස‍්මාති? වුච‍්චතෙ – එකස‍්මිං වස‍්සෙ ඡ චාතුද‍්දසිකඋපොසථා හොන‍්ති. ඉති වීසතියා වස‍්සෙසු චත‍්තාරො මාසා පරිහායන‍්ති. රාජානො තතියෙ තතියෙ වස‍්සෙ වස‍්සං උක‍්කඩ‍්ඪන‍්ති. ඉති අට‍්ඨාරසසු වස‍්සෙසු ඡ මාසා වඩ‍්ඪන‍්ති, තතො උපොසථවසෙන පරිහීනෙ චත‍්තාරො මාසෙ අපනෙත්‍වා ද‍්වෙ මාසා අවසෙසා හොන‍්ති, තෙ ද‍්වෙ මාසෙ ගහෙත්‍වා වීසතිවස‍්සානි පරිපුණ‍්ණානි හොන‍්තීති නික‍්කඞ‍්ඛා හුත්‍වා නික‍්ඛමනීයපුණ‍්ණමාසිං අතික‍්කම‍්ම පාටිපදෙ උපසම‍්පාදෙන‍්ති. එත්‍ථ පන යො පවාරෙත්‍වා වීසතිවස‍්සො භවිස‍්සති, තං සන්‍ධාය “එකූනවීසතිවස‍්ස”න‍්ති වුත‍්තං. තස‍්මා යො මාතුකුච‍්ඡිස‍්මිං ද‍්වාදසමාසෙ වසි, සො එකවීසතිවස‍්සො හොති. යො සත‍්තමාසෙ වසි, සො සත‍්තමාසාධිකවීසතිවස‍්සො. ඡමාසජාතො පන න ජීවති.

පුරාතන ස්ථවිරයන් වහන්සේලා දොළොස් මසක් මවුකුස වැස මහාපවුරුණු දිනයෙහි උපන්තැන් පටන් එකුන් විසිවයස් ඇත්තාවූ හෙරණහු නිකිණිමස පෞණිමිය ඉක්මවා පශ්චිමකයන් විසින් වස් එළැඹිය යුතු පෑළවිය දිනයෙහි උපසම්පදා කෙරෙත්. ඒ කුමක් හෙයින, යත්:- එහිලා කියනු ලැබේ. එක් වසෙක චාතුද්දසී පොහොය සසෙක් වේ. මෙසේ විසි වසෙහි සිවුමසෙක් පිරිහේ. රජහු, තෙවන තෙවන වසෙහි වස උඩට අදිත්. (තෙවන වසෙහි එක් මසක් අධිකමාස වසයෙන් හරිමින් වස්සුක්කඩ්ඪනය කරති. යන අර්‍ත්‍ථයි. කුමක් හෙයින යත්: තෙවන වසෙහි දහතුන් මසෙක් වේ. වසකට දොළොස් මස බැවින් අටළොස් වස්හි අධික මාසයක් වෙන්ව ගෙණ සමසක් වැඩේයයි කියනලදී). මෙසේ අටළොස් වස්හි සමසෙක් වැඩේ. ඒ සමසින් උපොසථ වසයෙන් පිරිහුනු සිවුමස බැහැර කොට දෙමසෙක් ඉතිරි වේ. ඒ දෙමස ගෙණ විසි වස පිරුනේ වේයි අධිකමාස සමග පිරිපුන් විසිවස ඇති බැවින් සැක නැතිව නිකිණි මස පෞණිමිය ඉක්මවා පෑළවිය දිනයෙහි උපසම්පදා කෙරෙත්. මෙහි වනාහි යමෙක් පවරා විසිවස් ඇත්තේ වන්නේද, ඔහු සඳහා ‘එකුනවීසති වස්සං’යි කියන ලදී. (යම්හෙයකින් ගර්‍භමාසයෝ ගණනූපග වෙත්ද) එහෙයින් යමෙක් තෙමේ මවුකුසෙහි දොළොස් මසක් විසූයේද, හෙතෙමේ එක්විසිවයස් ඇත්තේ වේ. යමෙක් තෙමේ සත්මසක් විසූයේද, හෙතෙමේ සත්මසක් අධිකකොට ඇති විසිවයස් ඇත්තේ වේ. සමසින් උපන්නේ වනාහි ජීවත් නොවේ.

අනාපත‍්ති ඌනවීසතිවස‍්සං පරිපුණ‍්ණවීසතිවස‍්සසඤ‍්ඤීති එත්‍ථ කිඤ‍්චාපි උපසම‍්පාදෙන‍්තස‍්ස අනාපත‍්ති, පුග‍්ගලො පන අනුපසම‍්පන‍්නොව හොති. සචෙ පන සො දසවස‍්සච‍්චයෙන අඤ‍්ඤං උපසම‍්පාදෙති, තඤ‍්චෙ මුඤ‍්චිත්‍වා ගණො පූරති, සූපසම‍්පන‍්නො. සොපි ච යාව න ජානාති, තාවස‍්ස නෙව සග‍්ගන‍්තරායො න මොක‍්ඛන‍්තරායො, ඤත්‍වා පන පුන උපසම‍්පජ‍්ජිතබ‍්බං. සෙසං උත‍්තානමෙව.

“අනාපත්ති ඌනවීසති වස්සං පරිපුණ්ණසඤ්ඤී” මෙහි උපසපන් කරන මහණහුට කිසියේත් ඇවැත් නොවේ. පුද්ගල තෙමේ වනාහි අනුපසම්පන්න වේ. ඉදින් අනුපසම්පන්නවූ හෙතෙමේද සවස් ඇවෑමෙන් අනිකකු උපසපන් කෙරේද, උපසපන්ය යන් සන් ඇතිව දසවස් පිරීමෙන් උපාද්ධ්‍යයව උපසම්පදා කරන ඔහු හැර ගණය පිරේ නම්, එහි උපසම්පදාව ලත් තැනැත්තේ මැනැවින් උපසපන් වූයේ වේ. අඩු විසිවයස් ඇතිව උපසම්පන්නයි ව්‍යවහාරයට පැමිණ වසන හෙතෙමේද, යම්තාක් නොදනීද, ඒතාක් ඔහුට ස්වර්‍ගාන්තරායෙක් නොවේමය. මොක්‍ෂාන්තරායෙක්ද නොවේ. දැන නැවත උපසම්පදා වියයුතුය. සෙස්ස ප්‍රකටමය.

තිසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

ඌනවීසතිවස‍්සසික‍්ඛාපදං පඤ‍්චමං.

පස්වන ඌනවීසතිවස්ස ශික්‍ෂාපදයය

ථෙය්‍යසත්‍ථසික‍්ඛාපදවණ‍්ණනා

ථෙය්‍යසත්‍ථ ශික්‍ෂාපද වර්ණනාව

ඡට‍්ඨෙ – පටියාලොකන‍්ති සූරියාලොකස‍්ස පටිමුඛං; පච‍්ඡිමදිසන‍්ති අත්‍ථො. කම‍්මියාති සුඞ‍්කට‍්ඨානෙ කම‍්මිකා.

ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - “පටියාලොකං” සූර්‍ය්‍යලෝකයට විරුද්ධ මුඛයට. පැසුළුදෙසට යන අර්‍ත්‍ථයි. “කම්මිකා” අයබදු ගන්නා තැන කම්කරුවෝ.

රාජානං වා ථෙය්‍යං ගච‍්ඡන‍්තීති රාජානං වා ථෙනෙත්‍වා වඤ‍්චෙත්‍වා රඤ‍්ඤො සන‍්තකං කිඤ‍්චි ගහෙත්‍වා ඉදානි න තස‍්ස දස‍්සාමාති ගච‍්ඡන‍්ති.

“රාජානං වා ථෙය්‍යං ගචඡන්ති” රජුන්ගෙන් හෝ සොරකම්කොට වඤ්චා කොට රජු සතු කිසිවක් ගෙණ දැන් ඔහුට නොදෙන්නෙමු’යි යෙත්

විසඞ‍්කෙතෙනාති කාලවිසඞ‍්කෙතෙන දිවසවිසඞ‍්කෙතෙන ච ගච‍්ඡතො අනාපත‍්ති. මග‍්ගවිසඞ‍්කෙතෙන පන අටවිවිසඞ‍්කෙතෙන වා ආපත‍්තියෙව. සෙසමෙත්‍ථ භික‍්ඛුනිවග‍්ගෙ වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙව. ථෙය්‍යසත්‍ථසමුට‍්ඨානං – කායචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

“විසඞ්කතෙන” අසුවල් කාලයෙහි යම්හයි කථා කොට ගෙණ ඒ නියම කරගත් කාලය වැරදවීමෙන්ද, නියම කරගත් දවස වැරදවීමෙන්ද යන මහණහුට ඇවැත් නොවේ. මග වැරදවීමෙන්ද, වන වැරදවීමෙන්ද, ඇවැත් වේමය. මෙහි සෙස්ස භික්‍ෂුණී වර්‍ගයෙහි කියූ නය ඇති බැවින් ප්‍රකටමය. ථෙය්‍යසත්‍ථසමුත්‍ථානිකය. කායචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගනියි. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

ථෙය්‍යසත්‍ථසික‍්ඛාපදං ඡට‍්ඨං.

සවන ථෙය්‍යසත්‍ථ ශික්‍ෂාපදයයි

සංවිධානසික‍්ඛාපදවණ‍්ණනා

සංවිධාන ශික්‍ෂාපද වර්ණනාව

සත‍්තමෙ – පධූපෙන‍්තො නිසීදීති පජ‍්ඣායන‍්තො අත‍්තානංයෙව පරිභාසන‍්තො නිසීදි. නාය්‍යො සො භික‍්ඛු මං නිප‍්පාතෙසීති අය්‍යො අයං භික‍්ඛු මං න නික‍්ඛාමෙසි; න මං ගහෙත්‍වා අගමාසීති අත්‍ථො. සෙසමෙත්‍ථ භික‍්ඛුනියා සද‍්ධිං සංවිධානසික‍්ඛාපදෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං සද‍්ධිං සමුට‍්ඨානාදීහීති.

සප්තම ශික්‍ෂාපදයෙහි - “පධූපෙන්තො නිසීදති” සුස්මමින් (දුකෙන් යුක්තව) තමන්හටම පරිභව කරමින් හුන්නේය. “න අයෙපා සො භික්‍ඛු මං නිපාතෙසි” ආර්‍ය්‍යය මේ මහණතෙමේ මා නොනික්මවූයේය. මා ගෙණ නොගියේය, යන අර්‍ත්‍ථයි. මෙහි සෙස්ස සමුට්ඨානාදිය සමග, මෙහෙණක සමග සංවිධාන කොට ගෙණ එක් දිග්මගකට පැමිණීම කියූ ශික්‍ෂාපදයෙහි කියනලද නයින්ම දතයුතුය.

සංවිධානසික‍්ඛාපදං සත‍්තමං.

සත්වන සංවිධාන ශික්‍ෂාපදයයි

අරිට‍්ඨසික‍්ඛාපදවණ‍්ණනා

අරිට්ඨ ශික්‍ෂාපද වර්ණනාව

අට‍්ඨමෙ – ගද‍්ධෙ බාධයිංසූති ගද‍්ධබාධිනො; ගද‍්ධබාධිනො පුබ‍්බපුරිසා අස‍්සාති ගද‍්ධබාධිපුබ‍්බො, තස‍්ස ගද‍්ධබාධිපුබ‍්බස‍්ස ගිජ‍්ඣඝාතකකුලප‍්පසුතස‍්සාති අත්‍ථො.

අෂ්ටම ශික්‍ෂාපදයෙහි- ගිජුලිහිණියන් නැසූහයි ගද්ධබාධි නම් වේ. පෙර ගිජුලිහිණියන් නැසූ පුරුෂයෝ මොහුගේනුයි ගද්ධබාධිපුබ්බ නම්වේ. ගද්ධබාධිපූර්‍ව වූ ඒ ගිජුලිහිණි නසන කුලයෙහි උපන්නක්හටය යන අර්‍ත්‍ථයි.

සග‍්ගමොක‍්ඛානං අන‍්තරායං කරොන‍්තීති අන‍්තරායිකා. තෙ කම‍්මකිලෙසවිපාකඋපවාදආණාවීතික‍්කමවසෙන පඤ‍්චවිධා. තත්‍ථ පඤ‍්චානන‍්තරියකම‍්මා කම‍්මන‍්තරායිකා නාම. තථා භික‍්ඛුනීදූසකකම‍්මං, තං පන මොක‍්ඛස‍්සෙව අන‍්තරායං කරොති, න සග‍්ගස‍්ස. නියතමිච‍්ඡාදිට‍්ඨිධම‍්මා කිලෙසන‍්තරායිකා නාම. පණ‍්ඩකතිරච‍්ඡානගතඋභතොබ්‍යඤ‍්ජනකානං පටිසන්‍ධිධම‍්මා විපාකන‍්තරායිකා නාම. අරියූපවාදා උපවාදන‍්තරායිකා නාම, තෙ පන යාව අරියෙ න ඛමාපෙන‍්ති තාවදෙව, න තතො පරං. සඤ‍්චිච‍්ච ආපන‍්නා ආපත‍්තියො ආණාවීතික‍්කමන‍්තරායිකා නාම, තාපි යාව භික‍්ඛුභාවං වා පටිජානාති, න වුට‍්ඨාති වා න දෙසෙති වා තාවදෙව, න තතො පරං.

ස්වර්‍ගමොක්‍ෂයන්ට අනතුරු කෙරෙත්නුයි “අන්තරායික” නම්වේ. ඔවුහු කම්ම, කිලෙස, විපාක, උපවාද, ආණාවීතික්කම වසයෙන් පස්වැදෑරුම් වෙත්. එහි පඤ්චානන්තර්‍ය්‍ය කර්‍මයෝ කර්‍මාන්තරායික නම් වෙත්. භික්‍ෂුණී දූෂකකර්‍මය එසේය. ඒ භික්‍ෂුණීදූෂකකර්‍මය මොක්‍ෂයටම අනතුරු කරන්නේය. ස්වර්‍ගයට අන්තරාය නොකරන්නේය. නියතමිත්‍ථ්‍යා දෘෂ්ටිධර්‍මයෝ ක්ලෙශාන්තරායික නම්වෙත්. පණ්ඩක තිරච්ඡානගත උභතො බ්‍යඤ්ජනකාදීන්ගේ ප්‍රතිසන්‍ධිචිත්තොත්පාද ධර්‍මයෝ විපාකාන්තරායික නම් වෙත්. ආර්‍ය්‍යොපවාදයෝ උපවාදාන්තරායික නම් වෙත්. ඒ අර්‍ය්‍යොපවාදයෝ යම්තාක් ආර්‍ය්‍යයන් කමා නොකරවත්ද ඒතාක්ම අන්තරායික වෙත්. කමා කරවීමෙන් මත්තෙහි ආර්‍ය්‍යොපවාදාන්තරායිකයෝ නොවෙත්. සිතා දැන පැමිණි ආපත්තීහු, ආඥාව්‍යතික්‍රමාන්තරායිකයෝය. ඒ ආපත්තීහුද යම්තාක්කල් භික්‍ෂුභාවය පිළිදන්වාද, ගරුකාපත්තියට පැමිණියේ එයින් නොනැගී සිටීද, ලහුකාපත්තියට පැමිණියේ නොදෙසාද, ඒතාක්ම අන්තරායික වෙන් ඔවුහුද භික්‍ෂුභාවයෙන් මිදීමෙන් හා පැමිණි ආපත්තීන්ගේ පාරිශුද්ධියෙන්ද මත්තෙහි ආඥාව්‍යතික්‍රමාන්තරායිකයෝ නොවෙත්.

තත්‍රායං භික‍්ඛු බහුස‍්සුතො ධම‍්මකථිකො සෙසන‍්තරායිකෙ ජානාති, විනයෙ පන අකොවිදත‍්තා පණ‍්ණත‍්තිවීතික‍්කමන‍්තරායිකෙ න ජානාති, තස‍්මා රහොගතො එවං චින‍්තෙසි – “ඉමෙ ආගාරිකා පඤ‍්ච කාමගුණෙ පරිභුඤ‍්ජන‍්තා සොතාපන‍්නාපි සකදාගාමිනොපි අනාගාමිනොපි හොන‍්ති, භික‍්ඛූපි මනාපිකානි චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යානි රූපානි පස‍්සන‍්ති…පෙ… කායවිඤ‍්ඤෙය්‍යෙ ඵොට‍්ඨබ‍්බෙ ඵුසන‍්ති, මුදුකානි අත්‍ථරණපාවුරණාදීනි පරිභුඤ‍්ජන‍්ති, එතං සබ‍්බං වට‍්ටති. කස‍්මා ඉත්‍ථිරූපා…පෙ… ඉත්‍ථිඵොට‍්ඨබ‍්බා එව න වට‍්ටන‍්ති, එතෙපි වට‍්ටන‍්තී”ති. එවං රසෙන රසං සංසන්‍දිත්‍වා සච‍්ඡන්‍දරාගපරිභොගඤ‍්ච නිච‍්ඡන්‍දරාගපරිභොගඤ‍්ච එකං කත්‍වා ථූලවාකෙහි සද‍්ධිං අතිසුඛුමසුත‍්තං ඝටෙන‍්තො විය සාසපෙන සද‍්ධිං සිනෙරුං උපසංහරන‍්තො විය පාපකං දිට‍්ඨිගතං උප‍්පාදෙත්‍වා “කිං භගවතා මහාසමුද‍්දං බන්‍ධන‍්තෙන විය මහතා උස‍්සාහෙන පඨමපාරාජිකං පඤ‍්ඤත‍්තං, නත්‍ථි එත්‍ථ දොසො”ති සබ‍්බඤ‍්ඤුතඤ‍්ඤාණෙන සද‍්ධිං පටිවිරුජ‍්ඣන‍්තො භබ‍්බපුග‍්ගලානං ආසං ඡින්‍දන‍්තො ජිනස‍්ස ආණාචක‍්කෙ පහාරමදාසි. තෙනාහ – “තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමී”තිආදි.

එහි මේ අරිෂ්ට භික්‍ෂු තෙමේ බහුශ්‍රැතය. ධර්‍මකථිකය. එහෙයින් ප්‍රඥප්ති ව්‍යතික්‍රමාන්තරායිකයන් හැර සෙසු අන්තරායකරධර්‍ම දන්නේය. විනයෙහි දක්‍ෂ නොවන බැවින් ප්‍රඥප්ති ව්‍යතික්‍රමාන්තරායිකයන් නොදන්නේය. එහෙයින් රහසිගත වූයේ ‘මේ ගිහියෝ පස්කම් කොටස් වළදමින් සොතාපන්නද වෙති. සකෘදාගාමීහුද වෙති. අනාගාමීහුද වෙත්. භික්‍ෂූහුද මන වඩන, ඇසින් විඳගතයුතු රූප-පෙ-දකිත් -පෙ-කයින් විඳිය යුතු වූ පැහැසිය යුතුදෙය පහසත්. මොළොක්වූ ආස්තරණපාපුරණාදීන් පරිභොග කරත්. මේ සියල්ල පරිභොග කිරීම වටියි. එසේ නම් කුමක් හෙයින් ස්ත්‍රීරූප-පෙ-ස්ත්‍රීස්පර්‍ශ නොවටිත්ද, මොවුහුද වටිත්ය’යි මෙසේ සිතුයේය. මෙසේ අනවද්‍යප්‍රත්‍යයපරිභොග රසය හා සාවද්‍ය කාමගුණ පරිභොගරසය සසඳා ඡන්‍දදරාගසහිත වූ පරිභොගයද, ඡන්‍දරාග රහිත පරිභොගයද, එකක් කොට දළ වැහැරී සමග ඉතා සියුම්හුයක් එක්කොට ගටන්නකුමෙන්, අබැටක් සමග මහමෙර සමබවට පමුණුවන්නකු මෙන් ලාමක දෘෂ්ටියක් උපදවා ‘කිම, භාග්‍යවතුන් වහන්සේ විසින් මහමුහුද හෙයක් වසයෙන් බඳින්නකු විසින් මෙන් මහත් උත්සාහයෙන් ප්‍රථම පාරාජිකය පණවන ලද්දේ ද, මෙහි දොසක් නැත්තේයයි සර්‍වඥතාඥානය සමග ප්‍රතිවිරුද්ධ වෙමින් භව්‍යපුද්ගලයන්ගේ ආශාව සිඳිමින් ජින නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ දේශනා සඞ්ඛ්‍යාත ආඥාචක්‍රයට පහර දුන්නේය. “තථාහං භගවතා ධම්මං දෙසිතං ආජානාමි” යනාදිය එහෙයින් කීයේය.

අට‍්ඨිකඞ‍්කලූපමාතිආදිම‍්හි අට‍්ඨිකඞ‍්කලූපමා අප‍්පස‍්සාදට‍්ඨෙන. මංසපෙසූපමා බහුසාධාරණට‍්ඨෙන. තිණුක‍්කූපමා අනුදහනට‍්ඨෙන. අඞ‍්ගාරකාසූපමා මහාභිතාපනට‍්ඨෙන. සුපිනකූපමා ඉත‍්තරපච‍්චුපට‍්ඨානට‍්ඨෙන. යාචිතකූපමා තාවකාලිකට‍්ඨෙන. රුක‍්ඛඵලූපමා සබ‍්බඞ‍්ගපච‍්චඞ‍්ගපලිභඤ‍්ජනට‍්ඨෙන. අසිසූනූපමා අධිකුට‍්ටනට‍්ඨෙන. සත‍්තිසූලූපමා විනිවිජ‍්ඣනට‍්ඨෙන. සප‍්පසිරූපමා සාසඞ‍්කසප‍්පටිභයට‍්ඨෙනාති අයමෙත්‍ථ සඞ‍්ඛෙපො. විත්‍ථාරො පන පපඤ‍්චසූදනියං මජ‍්ඣිමට‍්ඨකථායං (ම· නි· 1.234 ආදයො; 2.42 ආදයො) ගහෙතබ‍්බො. එවං බ්‍යාඛොති එවං විය ඛො. සෙසමෙත්‍ථ පුබ‍්බෙ වුත‍්තනයත‍්තා උත‍්තානමෙව.

“අට්ඨිකඞ්කපලූපමා” යනාදි තන්හි මඳ රසවිඳගැනීම් ඇති අර්‍ත්‍ථයෙන් ඇට සැකිල්ලකට බඳු උපමා ඇතියහ. “මංසපෙසූපමා” බොහෝ දෙනාට සාධාරණාර්‍ත්‍ථයෙන් මස්වැදැල්ලකට බඳු උපමා ඇතියහ. ‘තිණුක්කූපමා’ අනුපායප්‍රති පත්තියෙන් දැන්ද මතුද දවන අර්‍ත්‍ථයෙන් තණසුලකට බඳු උපමා ඇතියහ. “අඞ්ගාරකාසූපමා” මහත්ව තැවීමට කරුණු වන අර්‍ත්‍ථයෙන් අඟුරු වළකට බඳු උපමා ඇතියහ. “සුපිනකූපමා” මඳකලක් එළඹ සිටීම් අර්‍ත්‍ථයෙන් සිහිනයකට බඳු උපමා ඇතියහ. “යාචිතකූපමා” තාවකාලිකාර්‍ත්‍ථයෙන් ඉල්වාගත් දෙයකට බඳු උපමා ඇතියහ. “රුක්‍ඛඵලූපමා” සියලු අඟපසඟ බිඳීම් අර්‍ත්‍ථයෙන් රුක් ඵලයනට බඳු උපමා ඇතියහ. “අසිසූනූපමා” කෙටීම් අර්‍ත්‍ථයෙන් කඩුව හා මස්ලොඹුකට බඳු උපමා ඇතියහ. “සත්තිසුලූපමා” විනිවිද යන අර්‍ත්‍ථයෙන් සැත්හුලකට බඳු උපමා ඇතියහ. “සප්පසිරූපමා” සැක බිය සහිතය යන අර්‍ත්‍ථයෙන් සප්හිසකට බඳු උපමා ඇතියහ. මෙහි මේ සඞ්ක්‍ෂෙපයයි. විස්තරය වනාහි ප්‍රපඤ්චසූදනී නම්වූ මද්ධ්‍යමනිකායාර්‍ත්‍ථකථාවෙන් ගතයුතුය. “එවං ව්‍යා ඛො” මෙසේ මෙන්මය. මෙහි සෙස්ස පෙර කියනලද නය ඇති බැවින් ප්‍රකටමය.

සමනුභාසනසමුට‍්ඨානං – කායවාචාචිත‍්තතො සමුට‍්ඨාති, අකිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදනන‍්ති.

සමනුභාසනසමුත්‍ථානිකය. කායවාචාචිත්තයෙන් හටගනියි. අක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශල චිත්තයි. දුඃඛවෙදනයි.

අරිට‍්ඨසික‍්ඛාපදං අට‍්ඨමං.

අටවන අරිට්ඨ ශික්‍ෂාපදයයි.

උක‍්ඛිත‍්තසම‍්භොගසික‍්ඛාපදවණ‍්ණනා

උක්ඛිත්තසම්භෝග ශික්‍ෂාපද වර්ණනාව

නවමෙ – අකටානුධම‍්මෙනාති අනුධම‍්මො වුච‍්චති ආපත‍්තියා අදස‍්සනෙ වා අප‍්පටිකම‍්මෙ වා පාපිකාය දිට‍්ඨියා අප‍්පටිනිස‍්සග‍්ගෙ වා ධම‍්මෙන විනයෙන සත්‍ථුසාසනෙන උක‍්ඛිත‍්තකස‍්ස අනුලොමවත‍්තං දිස‍්වා කතා ඔසාරණා; සො ඔසාරණසඞ‍්ඛාතො අනුධම‍්මො යස‍්ස න කතො, අයං අකටානුධම‍්මො නාම, තාදිසෙන සද‍්ධින‍්ති අත්‍ථො. තෙනෙවස‍්ස පදභාජනෙ “අකටානුධම‍්මො නාම උක‍්ඛිත‍්තො අනොසාරිතො”ති වුත‍්තං.

නවම ශික්‍ෂාපදයෙහි- “අකටානුධම්මෙන” ඇවැත නොදැක්මෙහි හෝ පැමිණි ඇවැත සඳහා පිළියම් නොකිරීමෙහි හෝ ලාමක දෘෂ්ටිය නොහැරීමෙහි හෝ ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘ ශාසනයෙන් උත්ක්‍ෂෙපණීය කර්‍මයෙන් බැහැර කරන ලද්දහුගේ අනුලොම්වත දැක කළ ඇතුළත් කිරීම අනුධර්‍මැයි කියනු ලැබේ. ඒ (ඇතුළත් කිරීමයි කියූ) ඔසරණාසඞ්ඛ්‍යාත අනුධර්‍මය තෙමේ යමක්හට නොකරන ලද්දේ ද, මෙතෙමේ නොකළ ඔසාරණය ඇත්තේ නම. එබන්දකු සමග යන අර්‍ත්‍ථයි. එහෙයින්ම මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “අකටානුධම්මො නාම උක්‍ඛිත්තො අනොසාරිතො”යි වදාරන ලදී.

දෙති වා පටිග‍්ගණ‍්හාති වාති එකපයොගෙන බහුම‍්පි දදතො වා ගණ‍්හතො වා එකං පාචිත‍්තියං. විච‍්ඡින්‍දිත්‍වා විච‍්ඡින්‍දිත්‍වා දෙන‍්තස‍්ස ච ගණ‍්හන‍්තස‍්ස ච පයොගගණනාය පාචිත‍්තියානි . සෙසමෙත්‍ථ උත‍්තානමෙව. තිසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, තිචිත‍්තං, තිවෙදනන‍්ති.

“දෙති වා පතිගණාති වා” එක් ප්‍රයොගයකින් බොහෝ ආමිස දෙන මහණහුටද, ගන්නහුටද එක් පාචිත්තියක් වේ. කඩ කඩකොට දෙන්නහුටද ගන්නහුටද යථොක්තදෘෂ්ටිය නොහළ බැවින් සමනුභාෂණ කර්‍මය කළ මහණහු සමග ගනුදෙනු කරන ප්‍රයොග ගණනින් පාචිත්තියාපත්තීහු වෙත්. මෙහි සෙස්ස ප්‍රකටමය. ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.

උක‍්ඛිත‍්තසම‍්භොගසික‍්ඛාපදං නවමං.

නවවන උක්‍ඛිත්තසම්භොග ශික්‍ෂාපදයයි

කණ‍්ටකසික‍්ඛාපදවණ‍්ණනා

කණ්ටක ශික්‍ෂාපද වර්ණනාව

දසමෙ – දිට‍්ඨිගතං උප‍්පන‍්නන‍්ති අරිට‍්ඨස‍්ස විය එතස‍්සාපි අයොනිසො උම‍්මුජ‍්ජන‍්තස‍්ස උප‍්පන‍්නං. නාසෙතූති එත්‍ථ තිවිධා නාසනා – සංවාසනාසනා, ලිඞ‍්ගනාසනා, දණ‍්ඩකම‍්මනාසනාති. තත්‍ථ ආපත‍්තියා අදස‍්සනාදීසු උක‍්ඛෙපනා සංවාසනාසනා නාම. “දූසකො නාසෙතබ‍්බො (පාරා· 66) මෙත‍්තියං භික‍්ඛුනිං නාසෙථා”ති (පාරා· 384) අයං ලිඞ‍්ගනාසනා නාම. “අජ‍්ජතග‍්ගෙ තෙ ආවුසො සමණුද‍්දෙස න චෙව සො භගවා සත්‍ථා අපදිසිතබ‍්බො”ති අයං දණ‍්ඩකම‍්මනාසනා නාම. අයං ඉධ අධිප‍්පෙතා. තෙනාහ – “එවඤ‍්ච පන භික‍්ඛවෙ නාසෙතබ‍්බො…පෙ… විනස‍්සා”ති. තත්‍ථ චරාති ගච‍්ඡ. පිරෙති පර අමාමක. විනස‍්සාති නස‍්ස; යත්‍ථ තෙ න පස‍්සාම, තත්‍ථ ගච‍්ඡාති.

දශම ශික්‍ෂාපදයෙහි - “දිට්ඨිගතං උප්පන්නං” අරිෂ්ට මහණහුට මෙන් නුනුවණින් ඉල්පෙන්නාවූ මේ කණ්ටක හෙරණහුටද ලාමක දෘෂ්ටියක් උපන. “නාසෙතු” මෙහි වාසනා තොමෝ සංවාසනාසනා ලිඞ්ගනාසනා දණ්ඩකම්මනාසනායි තෙවැදෑරුම් වන්නීය. එහි ඇවැත් නොදැකීම් ආදිය නිමිති කොට කරන උත්ක්‍ෂෙපණා තොමෝ සංවාසනාසනා නම. ‘දූෂක තෙමේ නැසිය යුතුය, මෙත්තියා භික්‍ෂුණිය නසවුයි ලිඞ්ගනාසනා නම. ‘ඇවැත’ සමණුද්දෙස, තා විසින් අද පටන් ඒ භාග්‍යවතුන් වහන්සේ ශාස්තෘහුයි නොම කියයුතුයි, යන මේ දණ්ඩකම්මනාසනා නම. මෙහි මේ දණ්ඩකම්ම නාසනා තොමෝ අදහස් කරන ලදී. එහෙයින් “එවඤ්ච පන භික්‍ඛවෙ නාසෙතබ්බො -පෙ- විනස්ස”යි වදාළ සේක. එහි “චර” යනු ‘යව’ යන අර්‍ත්‍ථයි. “පරෙ” යනු පහවයව, මෙහි නොසිටුව. මමත්‍වය නැත්ත, “විනස්ස” නැසෙව. යම් තැනක ගියහු නොදක්නෙමුද එහි යව.

උපලාපෙය්‍යාති සඞ‍්ගණ‍්හෙය්‍ය. උපට‍්ඨාපෙය්‍යාති තෙන අත‍්තනො උපට‍්ඨානං කාරාපෙය්‍ය. සෙසං අරිට‍්ඨසික‍්ඛාපදෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං සද‍්ධිං සමුට‍්ඨානාදීහීති.

“උපලාපෙය්‍ය” සිවුරු ආදිය හා උද්දෙස පරිපුච්ඡාදිය දීමෙන් නලවන්නේය. “උපට්ඨාපෙය්‍ය” ඒ හෙරණහු ලවා තමාට උපස්ථාන කරවා ගන්නේය. සෙස්ස සමුත්‍ථානාදිය සමග අරිට්ඨ ශික්‍ෂාපදයෙහි කී නයින්ම දතයුතුය.

කණ‍්ටකසික‍්ඛාපදං දසමං.

දසවන කණ්ටක ශික්‍ෂාපදයයි

සමත‍්තො වණ‍්ණනාක‍්කමෙන සප‍්පාණකවග‍්ගො සත‍්තමො.

වර්‍ණනා ක්‍රමයෙන් සත්වැනිවූ සප්‍රාණකවර්‍ගය නිමි.