යෙදුමෙන් කියවන්න

10. සිගාලවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

10. සිගාල වර්‍ගය

338. සිගාලො මානත්‍ථද‍්ධොව පරිවාරෙන අත්‍ථිකො පාපුණී මහතිං භූමිං රාජාසි සබ‍්බදාඨිනං

338. පිරිවර නිසා මානයෙන් තද වූ සිවලා තව තවත් පිරිවර කැමති වූයේ, මහත් සම්පත්තියට පැමිණියේ ය. දළැති සියලු සතුනට රජ විය.

339. එවමෙවං මනුස‍්සෙසු යො හොති පරිවාරවා, සො හි තත්‍ථ මහා හොති සිගාලො විය දාඨින’න‍්ති

339. එපරිදි මැ මනුෂ්‍යයන් අතුරෙහි පිරිවර ඇත්තේ වේ ද, හේ දළ ඇතියන්ට රජ වූ හිවලා සේ ගරු කළයුතු වේ. (සිවල්හු සෙයින් පිරිවර නිසා වැනසේ යි සේයි)

1. සබ‍්බදාඨජාතකං.

1. සබ්බදාඨ ජාතක යි.

340. බාලො වතායං සුනඛො යො වරත‍්තං න ඛාදති, බන්‍ධනා ච පමුඤ‍්චෙය්‍ය අසිතො ච ඝරං වජෙ.

340. යමෙක් වරපට නො කා නම් ඒ මේ සුනඛ තෙම එකත්නෙන් මූඪ වූයේ වෙයි. බන්‍ධනයෙන් මිදුණේ සුහිතව ගෙට යන්නේ යැ.

341. අට‍්ඨිතං මෙ මනස‍්මිං මෙ අථො මෙ හදයෙ කතං, කාලඤ‍්ච පතිකඞ‍්ඛාමි යාව පස‍්සුපතූ ජනොති.

341. තොප කියන දැය මාගේ සිත්හි පිහිටියේ යැ. යළි ඒ තොප විසින් මාගේ හෘදයෙහි කරන ලද පලා යන්නට නිසි කල් බලමි. යම්තාක් මේ ජනතෙමේ නිද්‍රෝපගත වේවා.

2. සුනඛජාතකං.

2. සුනඛ ජාතක යි.

342. සත‍්තතන‍්තිං සුමධුරං රාමණෙය්‍යං අවාචයිං, සො මං රඞ‍්ගම‍්භි අව‍්හෙති සරණං මෙ හොහි කොසිය.

342. තත් සතක් ඇති ඉමිහිරි රමණීය වූ වීණා ගායනය ඉගැන්වීමි. ඒ (ශිෂ්‍යයා) මා රඟමඬලට (වාද පිණිස) කැඳවයි. ශක්‍රය මට පිහිට වන්න.

343. අහං තං සරණං සම‍්ම අහමාචරිය පූජකො, න තං ජයිසස‍්ති සිස‍්සො සිස‍්සමාචරිය ජෙස‍්සසී’ති.

343. මිතුර, මම තොපට පිහිට වෙමි. මම ගුරුන් පුදන්නෙක්මි. ඒ ශිෂ්‍යයා නො දිනන්නේ ය. ඇදුරු තෙම (සිසුහු) දිනන්නේ ය.

3. ගුත‍්තිලජාතකං.

3. ගුත්තිල ජාතක යි.

344. යං පස‍්සති න තං ඉච‍්ඡති යඤ‍්ච න පස‍්සති තං කිර ඉච‍්ඡති, මඤ‍්ඤාමි චිරං චරිස‍්සති න හි තං ලච‍්ඡති යං සො ඉච‍්ඡති.

344. යමක් දකී ද එය නො කැමැති ය. යමක් නො දකී ද එය කැමැති ය. (ජලයෙන් විනිර්මුක්ත වූ ගඞ්ගාවක් සොයමින් බොහෝ කල් ඇවිදින්නේය යි සිතමි. යමක් හේ කැමැති ද එය නො ලබන්නේ ය.

345. යං ලභති න තෙන තුස‍්සති යං පත්‍ථෙති ලද‍්ධං හීළෙති, ඉච‍්ඡා හි අනන‍්තගොචරා වීතිච‍්ඡානං නමො කාරොමසෙති.

345. යමක් ලබා ද ඉන් තුටු නොවේ, යමක් පතා ද ලද දෙය පිළිකුල් කරයි. ආසාව අනන්ත අරමුණු ඇත්තේ ය. පහ කළ ආසා ඇත්තවුන්ට නමස්කාර කරමු.

4. වීතිච‍්ඡජාතකං.

4. වීතිච්ඡ ජාතක යි.

346. කාලො ඝසති භූතානි සබ‍්බානෙව සහත‍්තනා, යො ච කාලඝසො භූතො ස භූතපවනිං පචී.

346. කාලය තමා හා සමග හැම සතුන් මැ කයි. කාලය කෑ යම් සත්ත්‍වයෙක් ඇද්ද. ඒ සත්ත්‍වයා භුතපවනි සඞ්ඛ්‍යාත තෘෂ්ණාව දැවී.

347. බහූනි නරසීසානි ලොමසානි බ්‍රහානි ච, ගීවාසු පටිමුක‍්කානි කොවිදෙවෙත්‍ථ කණ‍්ණවාති.

347. බොහෝ ලෝම ඇති මහත් වූ ගෙල හා බැඳි නර ශීර්‍ෂයෝ බොහෝ වෙති. මොවුනතුරෙහි කිසිවෙක් මැ කන් (ප්‍රඥාවත් නැණවත්හු) ඇත්තේ යි.

5. මූලපරියායජාතකං.

5. මූලපරියාය ජාතක යි.

348. හන‍්ත්‍වා ඣත්‍වා වධිත්‍වා ච දෙති දානං අසඤ‍්ඤතො, එදිසං භත‍්තං භුඤ‍්ජමානො ස පාපෙන උපලිප‍්පති.

348. දුශ්ශීලයා පහර දී, ක්‍ලාන්තකරවා මරා දන් දේ ද, එබඳු දන් වළඳන ඒ පුද්ගලයා ද පාපයෙන් තැවරේ.

349. පුත‍්තදාරම‍්පි චෙ හන‍්ත්‍වා දෙති දානං අසඤ‍්ඤතො, භුඤ‍්ජමානොපි සප‍්පඤ‍්ඤො න පාපෙන උපලිප‍්පතී’ති.

349. ඉදින් දුශ්ශීල තෙම අඹුදරුවනුදු මරා දන් දේ ද, එය වළඳන ප්‍රඥාවන්තයා පාපයෙන් නො තැවැරේ.

6. තෙලොවාදජාතකං.

6. තේලෝවාද ජාතක යි.

350. අද‍්ධා පාදඤ‍්ජලී සබ‍්බෙ පඤ‍්ඤාය අතිරොචති, තථා හි ඔට‍්ඨං භඤ‍්ජෙති උත‍්තරිං නූන පස‍්සති.

350. පාදඤ්ජලී කුමාරයා ඒකාන්තයෙන් ම අප හැමට වඩා ප්‍රඥාවෙන් ඉතා බබළයි. එය එසේ මැ යැ. තොල් බිඳියි, මතුයෙහි අන් කරුණක් ඒකාන්තයෙන් බලයි.

351. නායං ධම‍්මං අධම‍්මං වා අත්‍ථානත්‍ථංව බුජ‍්ඣති, අඤ‍්ඤත්‍ර ඔට‍්ඨනිබ‍්භොගා නායං ජානාති කිඤ‍්චනන‍්ති.

351. මෙතෙම (පාදඤ්ජලී කුමාරයා) දහම ද නො දහම ද දියුණුව ද පිරිහීම ද නො දනී. තොල් බිඳුම විනා අන් කිසිවක් නො දනී.

7. පාදඤ‍්ජලිජාතකං.

7. පාදඤ්ජලී ජාතක යි.

352. සබ‍්බෙහි කිංසුකො දිට‍්ඨො කින‍්ත්‍වෙත්‍ථ විචිකිච‍්ඡථ, න හි සබ‍්බෙසු ඨානෙසු සාරථි පරිපුච‍්ඡිතො.

352. හැමදෙනා විසින් කෑලගස දක්නා ලද. මේ කරුණෙහි කුමට සැක කරවු ද? සියලු තන්හි (කෑලගස පෙන්නූ අවස්ථාවන්හි) රියැදුරා නො විචාරන ලදි.

353. එවං සබ‍්බෙහි ඤාණෙහි යෙසං ධම‍්මා අජානිතා, තෙ වෙ ධම‍්මෙසු කඞ‍්ඛන‍්ති කිංසුකස‍්මිංව භාතරො’ති

353. එපරිදි සියලු විදර්‍ශනා ඥානයෙන් යම් කෙනකුන් විසින් ස්පර්‍ශායතනාදී ධර්‍මයෝ නො දන්නා ලද ද ඔවුහු ඒකාන්තයෙන් කෑලගස පිළිබඳ සැකකළ සොහොයුරන් සේ ධර්‍මයන්හි සැක කරත්.

8. කිංසුකොපමජාතකං.

8. කිංසුකෝපම ජාතක යි.

354. එකපුත‍්තකො භවිස‍්සසි ත්‍වං ච නො හෙසස‍්සි ඉස‍්සරො කුලෙ, ඔරොහ දුමස‍්මා සාලක එහි දානි ඝරකං වජෙමසෙ

354. සාලකය, තෝ එක ම පුතා වූයෙහි ය. අපගේ ගෙහි අධිපති වන්නෙහි ය. රුකින් බසිහි, එව දැන් ගෙට යම්හ.

355. නනු මං හදයෙති මඤ‍්ඤසි යඤ‍්චි මං හනසි වෙළුයට‍්ඨියා, පක‍්කම‍්බවනෙ රමාමසෙ ගච‍්ඡ ත්‍වං ඝරකං යථාසුඛන‍්ති.

355. මා තොපගේ මිතුරෙකැ යි සිතහි ද? යම් හෙයකින් උණ යටියෙන් මා පහළෙහි ද, එ හෙයින් තොප හා නො එමි. විලිකුන් අඹ උයන්හි රමණය කරම්හ. තෙපි සුවසේ ගෙට යව.

9. සාලකජාතකං.

9. සාලක ජාතක යි.

356. අයං ඉසී උපසමසංයමෙ රතො සන‍්තිට‍්ඨති සිසිරභයෙන අට‍්ටිතො, හන්‍ද අයං පවිසතුමං අගාරකං විනෙතු සීතං දරථඤ‍්ච කෙවලං.

356. රාගාදි කෙලෙසුන් සන්සිඳීමෙහි ඇලුණු මේ තවුස් සීතල නිසා හටගත් බියෙන් පෙළුණේ (ගෙදොර) සිටී. අනේ මේ තවුස් මේ ගෙට පිවිසේවා! සියලු සීත පීඩා දුරු කෙරේවා!

357. නායං ඉසී උපසමසංයමෙ රතො, කපී අයං දුමවරසාඛගොචරො, සො දූසකො රොසකො චාපි ජම‍්මො සචෙ වජෙ ඉමම‍්පි දූසයෙ ඝරන‍්ති.

357. මේ කෙලෙස් සන්සිඳීමේ ඇලුණු තවුසෙක් නො වෙයි. මේ වෘක්‍ෂශාඛා ගෝචර කොට ඇති වඳුරෙකි. හෙතෙම ගිය ගිය තැන මල මූ කිරීම් ඇදියෙන් දූෂණය කරන්නෙකි, කිපෙන්නෙකි, ලාමකයෙකි. ඉදින් පිවිසියේ වී නම් මේ ගෙය ද දූෂණය කරන්නේ යි.

10. කපිජාතකං

10. කපි ජාතක යි.

සිගාලවග‍්ගො දසමො.

දසවැනි සිගාල වර්‍ගයි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

අථ රාජාසිගාලවරො සුනඛො තථා කොසිය ඉච‍්ඡති කාලඝසො, අථ දානවරොට‍්ඨපි සාරථිනා පුනප‍්පවනඤ‍්ච සිසිරකපි දස.

සිවලා රජ වූ සබ්බදාඨ ජාතක යැ, සුනඛ ජාතක යැ, එසේ මැ (කෝසිය) ගුත්තිල ජාතක යැ, (ඉච්ඡති) විතිච්ඡ ජාතක යැ, (කාලඝසො) මූලපරියාය ජාතක යැ, තෙලොවාද ජාතක යැ, (ඔට්ඨ) පාදඤ්ජලි ජාතක යැ, (සාරථිනා) කිංසුකෝපම ජාතකයෙන් හි සාලක ජාතක යැ, කපි ජාතක ය යන මෙයින් දසය වේ.

දුකනිපාතො නිට‍්ඨිතො.

දුක නිපාතය නිමියේ යි.

වග‍්ගුද‍්දානං:

වර්‍ග උද්දානය:

දළ‍්හඤ‍්ච වග‍්ගං අපරෙන සන්‍ථවං කල්‍යාණවග‍්ගං සදිසො ච රුහකං, නතංදළ‍්හං බීරනත්‍ථම‍්භකං පුන කාසාවුපාහනසිගාලකෙන දසා’ති.

දළ්හ වර්‍ගය ද, අන්‍ය සන්‍ථව වර්‍ගය ද, කල්‍යාණ ධර්‍ම වර්‍ගය ද, අසදිස වර්‍ගය ද, රුහක වර්‍ගය ද, නතංදළ්හ වර්‍ගය ද, යළි බිරණත්‍ථම්හක වර්‍ගය ද, කාසාව වර්‍ගය ද, උපාහන වර්‍ගය ද, සිගාල වර්‍ගය ද යන මෙයින් වර්‍ග දසය වේ.